Monday, August 14, 2017
Monday, March 14, 2016
Interpretation of In re the Thirteenth Amendment to the Constitution Case
" ව්‍යවස්ථා අර්ථ නිරූපණය යනු යම් ආකාරයක ශිල්පයක් සේම විද්‍යාවක්ද වෙයි. කලා ශිල්පීන් වශයෙන් විනිශ්චයකාරවරු ඔවුන්ගේ ශිල්පයට අවශ්‍ය මෙවලම් වශයෙන් වඩාත් යෝග්‍ය රීතීන් තෝරාගෙන ආදේශ කරනු ලබයි. ඔවුන් නීති සම්පාදකයන් නොවේ. නමුත් රාජ්‍යයන් තුළ පවතින විචලනය වන තත්ත්වයන් තුළ වැඩිපුර කාර්යාවලීන් අවශ්‍ය හෙයින් ඔවුන් ව්‍යවස්ථාවන්හි අවසන් නිර්මාපකයන්, පිරිපහදුකරන්නන් සහ ඔපදමන්නන් බවට පත් වෙයි[1].
Donaldson විනිසුරුගේ
උක්ත ප්‍රකාශය ගම්‍යමාන කරන ශ්‍රී ලාංකික නඩු තීරණයක් ලෙස In re the Thirteenth Amendment to the
Constitution and the Provincial Councils Bill[2] නඩුව දැක්විය
හැකිය. මෙම නඩුකරය තුළ ප්‍රශ්නගත වූයේ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්
කෙටුම්පත සහ පළාත් සභා පනත් කෙටුම්පත යන කෙටුම්පත් ද්විත්වය සම්මතවීමට
පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයට
අමතරව ජනමතවිචාරණයක් තුළින් ජනතාව සම්මත කළ යුතු ද යන්නය. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය
බහුතර සහ විසම්මුතික තීරණයන්ට ප්‍රවේශ වූ අතර එහි බහුතර මතයට ප්රවේශිත ශර්වානන්ද
අගවිනිසුරු ප්රමුඛ අනෙකුත් විනිසුරුවරුන් උක්ත පනත් කෙටුම්පත් ද්විත්වය සම්මත
වීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළ අතර සුළුතර මතය නියෝජනය කරමින්
වනසුන්දර විනිසුරු ඇතුළු සෙසු විනිසුරුවරුන් මෙම පනත් කෙටුම්පත් ද්විත්වය සම්මත වීමට පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයට
අමතරව ජනමතවිචාරණයක් තුළින් මහජන අනුමැතිය ද ඒ සදහා අවශ්‍ය බවට
තීරණය කළ අතර මෙම විනිශ්චය තුළ ඉසව්ගත කරුණු රැසක් විවාදිත විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට
ඇතුළත් කරනු ලබන නව පරිච්ඡේදය 82(1) ව්‍යවස්ථාව[3]
සමග අනුකූල වන්නේ ද යන්න
පිළිබදව මෙම නඩුකරය යටතේ විවාදිත විය. මෙහිදී සුළුතර මතය නියෝජනය කරමින් වනසුන්දර
විනිසුරු පෙන්වා දුන්නේ අදාළ පනත් කෙටුම්පතේ 04 වන වගන්තිය ඔස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන
පරිච්ඡේදයට පසුව නව පරිච්ඡේදයක් හදුන්වා දෙන බවත් එම තත්ත්වය 82(1) ව්‍යවස්ථාව
ඔස්සේ ප්‍රතිපාදන සපයා ඇති පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්රතිපාදනයන් සංශෝධනය
කිරීමක් නොවන බවයි. මෙහිදී වනසුන්දර විනිසුරු 82(1) ව්‍යවස්ථාවේ ස්වභාවික
වචනාර්ථය අර්ථ නිරූපණයට භාජනය කරමින් J.A . Corry නැමැති නීතිවේදියා ප්‍රකාශ
කළ පරිදි[4]
අකුරුතා ප්‍රවේශය ගුරු කොට ගනිමින් යථාදෘෂ්ටිකවාදී නීති ගුරුකුලය මත මෙම ප්‍රවේශයට
එළැඹ ඇති බව පෙනී යයි.
නමුත් මෙම
කරුණ පිළිබඳව ශර්වානන්ද
අගවිනිසුරු තර්ක කරන්නේ මෙය අලුතින් කොටසක් එකතු කිරීමක් මිස පවත්නා කොටස සංශෝධනය
කිරීමක් නොවන නිසා මෙය
පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ හැකි බවයි. විශේෂයෙන්ම 82(7)
ප්රතිපාදනය[5]
ගෙනහැර දක්වමින් සංශෝධනය යන අර්ථයට පරිච්ඡින්න කිරීම,
වෙනස් කිරීම, අලුතින්
කොටසක් එකතු කිරීම ද අන්තර්ගත වන
බව මොහු පෙන්වා දුනි. මෙහිදී " සංශෝධනය " යන වචනය පුළුල් වශයෙන් Epsissima
Verba[6] පදනම යටතේ 82(7)
ප්රතිපාදනය ගෙනහැරපාමින් තම මතය ශර්වානන්ද අගවිනිසුරු
සාධාරණීකරණය කරන්නේ අකුරුතා න්‍යාය තුළ හිදිමින්ය. ඒ තුළින් මෙම පනත්
කෙටුම්පතෙහි අදාළත්වය සඳහා යථාදෘෂ්ටිකවාදී නිශ්චිත සාධාරණීකරණයක්
ලබාදී ඇති බව නිගමනය කළ හැකිය.
මෙම නඩු තීරණය
තුළදී මෙම සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික සැකැස්මට සිදුවන බලපෑම ද විවාදිත විය.
වනසුන්දර විනිසුරු සුළුතර මතය තුළින් පෙන්වා දුන්නේ මෙම සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ මූලික සැකැස්මට බලපෑමක් වන බවයි. විශේෂයෙන්ම 83
ව්‍යවස්ථාව[7]
යටතේ සුරක්ෂිත කරන ලද ප්රතිපාදනයන් බලපෑමට ලක්වීම තුළ මහජනතාවගේ පරමාධිපත්‍ය බලය
උල්ලංඝනය වන බව මොහු පෙන්වා දුණි. වනසුන්දර විනිසුරු 83 ව්‍යවස්ථාවේ අරමුණ තුළට
සාධාරණත්වය එක්කොට උක්ත අර්ථ නිරූපණයට ප්රවේශව ඇත. මෙහිදී අකුරුතා දෘෂ්ටි කෝණයෙන්
මිදී සාධාරණත්වය සහ වටිනාකම් පදනම් කරගත් ප්රවේශයකින් මූලික සැකැස්මට සිදුවන
හානිය වනසුන්දර විනිසුරු උපකල්පනය කොට ඇත[8].
එම නිසා අගයන් හා වටිනාකම් පදනම් කරගත් න්‍යාය තුළ සිටිමින් ස්වාභාවික සහ සමාජ
විද්‍යාත්මක නීති ගුරුකුලයන්හි ආභාෂය තුළින් මෙම ප්‍රවේශය වෙතට වනසුන්දර විනිසුරු
පිවිස ඇති බව නිගමනය කළ හැකිය. එසේම තම මතය සාධාරණීකරණය කරලීමට Kesavananda
vs State of Kerala[9] නඩුකරය
උපයුක්ත කරගැනීම තුළ Judicial Hunt[10] යන නීති විද්‍යාත්මක
මූලධර්මය භාවිතා කළ බව පෙනී යයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
මූලික සැකැස්මට සිදුවන බලපෑම පිළිබඳව බහුතර මතය ඉදිරිපත් කරන ශර්වානන්ද
අගවිනිසුරු තර්ක කරන්නේ 1972-1978 කාලයන්හි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස්කළ
හැකිනම් මූලික සැකැස්ම වෙනස් කරන සංශෝධනයක් වුවද ඉදිරිපත් කළ හැකි බවයි. Wilberforce සාමිවරයා වරෙක ප්‍රකාශ
කළේ ".....ඉතිහාසය ගැන
හැගීමක් ඇති අය, වර්තමාන
සමාජය කෙරෙහි හැගීමක් ඇති අය, දේශපාලනය
කෙරෙහි හැගීමක් ඇති අය, දේශපාලනය
යනුවෙන් හදුන්වන ලබන ඕනෑම ආකල්පයක් කෙරෙහි තැතිගැන්මක් ඇති අය, යනුවෙන්
විනිසුරුවරුන් විවිධ වෙයි. එම නිසා විනිසුරුවරුන් අර්ථ නිරූපණය තුළ අනුගමනය කරන ප්රවේශයන්
විවිධාකාරී වෙයි. "[11]
යනුවෙනි. මෙම ප්‍රකාශය පරිදි මෙහිදී ශර්වානන්ද අගවිනිසුරු මෙරට ආණ්ඩුක්‍රම ඉතිහාසය
පිළිබද දැනුම තුළින් නිදහස් අර්ථ නිරූපණයකට ප්රවේශව ඇත. ඒ තුළින් ශර්වානන්ද අග විනිසුරු අපේක්ෂා
කරන්නට ඇත්තේ ඉතා සරල ක්‍රමයකින් මෙම පනත් කෙටුම්පත් ද්විත්වය සම්මත කරලීමට අවශ්‍ය
නීතිමය පදනම සකසා එවකට සමාජීය වශයෙන් සුළු ජාතිකයන්ට අවශ්‍ය වූ අයිතීන් සුරක්ෂිත
කරලීම විය හැකිය. එම තත්ත්වය තුළ උක්ත සාධාරණීකරණය ස්වාභාවික සහ සමාජ විද්‍යාත්මක
නීති ගුරුකුලයන්ගේ අභාෂය ලබා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
ඒකීයභාවයට මෙම පනත් කෙටුම්පත් ද්විත්වය අභියෝගයක් වනවාද යන්න පිළිබදව ද මෙම නඩුකරය තුළ
විවාදිත විය. සුළුතර මතය යටතේ වනසුන්දර විනිසුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 02 වන ව්‍යවස්ථාව[12]
සහ 83 වන ව්‍යවස්ථාව
අකුරුතා න්‍යාය යටතේ අර්ථ නිරූපණය කොට ප්‍රකාශ කළේ මෙම සංශෝධනය තුළින් මෙරට
ඒකීයභාවය වියැකී ගොස් අර්ධ සන්ධීය හෝ සන්ධීය පාලන ක්‍රමයක් ස්ථාපිත විය හැකි බවයි.
මෙම ප්‍රවේශය 1980 දශකයේ
ඇමරිකාව තුළින් සංස්ථාපිත Originalism
මූලධර්මය[13]
හා සමපාත වෙයි.
මෙම තර්කය ප්‍රතික්ෂේප
කරමින් බහුතර මතය යටතේ ශර්වානන්ද අගවිනිසුරු ප්‍රකාශ කරන්නේ දහතුන්වන ව්‍යවස්ථා
සංශෝධනය තුළින් ඒකීය ක්‍රමයක් තුළ බලය බෙදීමක් සිදුකර ඇති නිසා එය සන්ධීය ක්‍රමයක්
නොවන බවයි. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බලය බෙදීමක් සිදු නොවන බවත් පනත්
කෙටුම්පතක් තුළින් පළාත් සභා පිහිටුවන හෙයින් එය ඒකීය පාලන ක්‍රමයට තර්ජනයක් නොවන
බව දක්වයි. මෙහිදී ශර්වානන්ද අගවිනිසුරු පළාත් සභා පනත ක්‍රියාත්මක කරලීමේ අරමුණ
අර්ථ නිරූපණය කරන අතර එය සාධාරණීකරණය කරලීමට K.C Wheare විසින් දැක්වූ ෆෙඩරල්
හා ඒකීය ක්රමයක වෙනස දැක්වෙන පාඨයක්ද උපයුක්ත කරගත්හ. එම නිසා Judicial Hunt මූලධර්මය
උපයුක්ත කරගනිමින් කාර්යාර්ථයේ න්‍යාය පදනම් කොට ගෙන සමාජ විද්‍යාත්මක
මුහුණුවරකින් උක්ත ප්‍රවේශයට ශර්වානන්ද අගවිනිසුරු පිවිස ඇති බව නිගමනය කළ හැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
03 වන ව්‍යවස්ථාව[14]
යටතේ ප්‍රකාශිත ජනතා පරමාධිපත්‍ය බලයට මෙම පනත් කෙටුම්පත් ද්විත්වය තුළින් සිදුවන
බලපෑම පිළිබදව ව්‍යවස්ථාදායක, විධායක සහ
අධිකරණ බලයන් යන ශීර්ෂයන් යටතේ විවාදිත විය.ව්‍යවස්ථාදායක බලයට සිදුවන බලපෑම
පිළිබදව මෙහිදී වනසුන්දර විනිසුරු තර්ක කළේ පළාත් සභාවලට 154(උ) වගන්තිය
යටතේ ප්රඥප්ති සම්පාදනයට බලය ලබා දීම තුළ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය
අභියෝගයට ලක් වන බවයි. මෙය සාධාරණිකරණය කරලීමට 76(1) ව්‍යවස්ථාව[15]ද
වනසුන්දර විනිසුරු උපයුක්ත කරගත්හ. මෙම ව්‍යවස්ථා ප්රතිපාදනයේ වචනාර්ථය අකුරුතා
න්‍යායික පදනමේ සිට අර්ථ නිරූපණය කළ වනසුන්දර විනිසුරු තම අර්ථ නිරූපණය තහවුරු
කරලීමට Judicial Hunt මූලධර්මය යටතේ
ඇමරිකානු අධිකරණ ක්‍රියාවලිය[16], In re Delhi Laws Act නඩුකරය[17], Rajanarainsing vs Chairman,
patna Administration Committee නඩුකරය[18]
සහ N.K Papiah vs Excise Commissioner[19]
ආදී නඩු තීරණයන් යොදා ගෙන යථාදෘෂ්ටිකවාදය මත පදනම්ව මෙම
පනත් කෙටුම්පත් ද්විත්වය තුළින් ව්‍යවස්ථාදායක බලයට තර්ජනයක් සිදු වන බව පෙන්වා
දුනි.
නමුත් මෙම
අර්ථ නිරූපණය ප්‍රතික්ෂේප කරමින් ශර්වානන්ද අගවිනිසුරු තර්ක කරන්නේ මෙම පනත්
කෙටුම්පත් ද්විත්වය හරහා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලයට බලපෑමක් සිදු නොවන
බවයි. 154(උ) (2) වගන්තිය යටතේ
පළාත් සභා සතු ප්රඥප්ති සම්පාදිත බලය මධ්‍යම රජයේ අවසාන බලයට යටත්වන බව මොහු
දක්වයි. එසේම රාජ්‍යය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම යටතේ 27(1)
සහ 27(4)[20] ව්‍යවස්ථාවන්
අර්ථ නිරූපණය කරමින් එම ව්‍යවස්ථාවන්හි අරමුණ මනාව ශර්වානන්ද අගවිනිසුරු අර්ථ
නිරූපණය කරයි. විශේෂයෙන්ම මහජන සාධාරණත්වය උක්ත රාජ්‍යය ප්‍රතිපත්ති මූලධර්ම යටතේ
ඉටුවන ආකාරය දක්වන මොහු එම අර්ථ නිරූපණය තුළින් සමාජීය ජනයාගේ ප්රජාතන්ත්රවාදී
අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරය දක්වයි. එම තත්ත්වය තුළ මෙම ශර්වානන්ද
අගවිනිසුරුගේ ප්‍රවේශය සමාජ විද්‍යාත්මක හා ස්වාභාවික ගුරුකුලයන්ගේ අභාෂය සහ අගයන්
හා වටිනාකම් පදනම් කරගත් න්‍යායේ මගපෙන්වීම තුළින් පෝෂිතව ඇති බවත් එමෙන්ම මෙම ප්‍රවේශය
තුළ Holmes නීතිවේදියා පැවසූ Bad
Man Theory[21]
යන්න සංගෘහිතව ඇති බවත් නිගමනය කළ හැකිය.
පළාත් විධායකය
විධායක බලයට අභියෝගයක් වේද යන්න පිළිබදව ද මෙම නඩුකරය යටතේ විවාදිත විය. මෙහිදී
වනසුන්දර විනිසුරු තර්ක කළේ ජනතාවගේ විධායක බලය විධායක ජනාධිපති සතුවන අතර එය ජනතා
අනුමැතියකින් තොරව ආණ්ඩුකාරවරයා වෙත අභිනියෝජනය කළ නොහැකි බවයි. මෙම තත්ත්වය
තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(b) ව්‍යවස්ථාව[22]
උල්ලංඝනය වන බවත් එය 03 වන ව්‍යවස්ථාව
සමග බැදීමකට ලක්වන නිසා 83 වන ව්‍යවස්ථාව
යටතේ ජනමතවිචාරණයකට යා යුතු බවටත් ප්‍රකාශ කළහ. විශේෂයෙන්ම මෙහිදී වනසුන්දර
විනිසුරු 4(b) ව්‍යවස්ථාවේ
සදහන් වචන සදහා ස්වාභාවික අර්ථය ලබාදෙමින් අර්ථ නිරූපණය කොට ඇත. මෙහිදී බලතල
බෙදීමේ සිද්ධාන්තය සහ පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය සුරක්ෂිත කරමින් G.E Devenish[23]
ප්‍රකාශ කළ පරිදි සදාචාරාත්මක සහ ප්‍රතිපත්තිමය සාධක
නොසලකා යථාදෘෂ්ටිකවාදී පදනමකින් වනසුන්දර විනිසුරු අර්ථ නිරූපණය කළ ඇති බව නිගමනය
කළ හැකිය.
මෙම කරුණ
පිළිබදව බහුතර මතය නියෝජනය කරමින් ශර්වානන්ද අගවිනිසුරු තර්ක කරන්නේ ආණ්ඩුකාරවරයාද
ක්‍රියාත්මක කරන්නේ මධ්‍යම රජයේ විධායක ප්රතිපත්තීන් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
4(b) ව්‍යවස්ථාවට ඉන්
කිසිදු හානියක් නොවන බවයි. තම මතය සාධාරණීකරණය කරලීමට 154(ආ)(2)
සහ 154(ඊ)(2)
යන ප්රතිපාදනයන්[24]
උපයුක්ත කරගනිමින් සැබෑ ලෙසම ආණ්ඩුකාරදූරය ස්ථාපිත කරලීමෙන් අපේක්ෂා කළ අරමුණ
ශර්වානන්ද විනිසුරු කාර්යාර්ථයේ න්‍යාය තුළින් අර්ථ නිරූපණය කරයි. විශේෂයෙන්ම
මෙලෙස ආණ්ඩුකාරදූරය ස්ථාපිත වීම සාධාරණීකරණය කරමින් මොහු අපේක්ෂා කරන්නේ බලය විමධ්‍යගත
කොට ඒ තුළින් සුවිශේෂී වශයෙන් සුළු ජාතීන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරක්ෂිත
කරලීමය. ඒ අනුව ශර්වානන්ද අගවිනිසුරුගේ අර්ථ නිරූපණය තුළ සමාජ විද්‍යාත්මක සහ
ස්වාභාවික නීති ගුරුකුල පදනම්ද අන්තර්ගත වෙයි.
අධිකරණ බලයට
සිදු වන බලපෑම පිළිබදවද මෙම නඩුකරය යටතේ විවාදිත විය. සුළුතර මතය නියෝජනය කරමින්
වනසුන්දර විනිසුරු ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 138 ව්‍යවස්ථාව[25]
මෙම සංශෝධන කෙටුම්පත් හරහා සංශෝධනය කොට පිහිටවන පළාත්බඳ මහාධිකරණ තුළින්
අභියාචනාධිකරණ බලයට තර්ජනයක් වන බවයි. මෙහිදී වනසුන්දර විනිසුරු අදාළ ව්‍යවස්ථා ප්රතිපාදනයේ
ස්වාභාවික වචනාර්ථය අර්ථ නිරූපණය කොට අකුරුතා න්‍යාය මත පදනම්ව යථාදෘෂ්ටිකවාදී
නීති පසුබිමක් තුළින් මෙම නිගමනයට ප්රවේශව ඇත.
මෙම මතය ප්‍රතික්ෂේප
කරමින් බහුතර මතය යටතේ ශර්වානන්ද අගවිනිසුරු තර්ක කළේ පළාත්බඳ මහාධිකරණයට රිට් ආඥා
නිකුත් කිරීමේ බලය හැරුණු විට පවතින්නේ පහළ අධිකරණ බලතල හා පළාත් ප්රඥප්තීන් අතර
ගැටීම් වැළැක්වීමේ
අධිකරණ බලය නිසා ඒ තුළින් අභියාචනාධිකරණය සතු බලය උල්ලංඝනය නොවන බවයි. මෙහිදී ශර්වානන්ද අගවිනිසුරු සත්‍ය ලෙස
පළාත්බඳ මහාධිකරණය
තුළින් සිදුවන කාර්යය අර්ථ නිරූපණය කරනු ලබයි. එසේම පළාත්බද මහාධිකරණයක් ස්ථාපිත
කරලීම තුළින් මහජන සේවය කාර්යක්ෂමවන ආකාරය මෙන්ම මහජනයාගේ ප්රජාතන්ත්රවාදී
අයිතිවාසිකම් වඩාත් හොදින් සුරක්ෂිත වන ආකාරය මෙම අර්ථ නිරුපණ ප්‍රවේශය තුළින්
ශර්වානන්ද අගවිනිසුරු උපකල්පනය කරන්නට ඇත.Kernochal[26] පැවසූ පරිදි
පළාත්බද මහාධිකරණයේ කාර්යය තුළට මහජනයාගේ සාධාරණත්ව අයිතීන් තුලනය කොට සමාජ විද්‍යාත්මක
පදනමකින් අගයන් සහ වටිනාකම් පදනම් කරගත් අර්ථ නිරූපණ ප්රවේශයකට ශර්වානන්ද
අගවිනිසුරු යොමුව ඇති බව නිගමනය වෙයි.
මෙම නඩුව
තුළදී උක්ත ප්‍රධාන කාරණා වලට අමතරව තවත් කරුණු රැසක් විවාදිත විය. විශේෂයෙන්ම
දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාවට[27]
සිදුවන බලපෑම පිළිබදවද මෙහිදී විවාදිත විය. සුළුතර මතය යටතේ වනසුන්දර විනිසුරු
තර්ක කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බෞද්ධාගමට ප්රමුඛස්ථානයක් ලබා දී ඇති බවයි.
නමුත් මෙම දහතුන්වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හරහා බෞද්ධාගමට තර්ජනයක් එල්ල
කරන බවයි. මෙහිදී වනසුන්දර විනිසුරු 09 වන ව්‍යවස්ථාව
දැඩි ලෙස අකුරුතා අර්ථ නිරූපණයකට භාජනය කරයි. එසේම තමා බෞද්ධ පරිසරයක උපන් බෞද්ධ
පරිසරයක ජිවත්වන්නෙකු නිසා එම අභාෂය Judicial Hunch[28] හරහා මෙම ප්‍රවේශය
වෙතට වනසුන්දර විනිසුරු උකහා ගෙන ඇත.
නමුත් මෙම මතය
ප්‍රතික්ෂේප කළ ශර්වානන්ද විනිසුරු තර්ක කළේ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
සංශෝධනය තුළ කිසිදු අවස්ථාවක බෞද්ධාගමට හෝ වෙනත් කිසිදු ආගමකට බලපෑමක් නොවන බවත්
මෙම සංශෝධනය හරහා බලය විමධ්‍යගත කොට සුළු ජනකොටස්වලට නියෝජනයක් ලබාදෙන නමුත් ආගමික
වශයෙන් කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි. මෙහිදී මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක වීමේ
අරමුණ මෙන්ම ඒ තුළින් අපේක්ෂා කරනු ලබන මහජන සාධාරණත්වය උකහා ගනිමින් අගයන් හා
වටිනාකම් මත පදනම් වූ අර්ථ නිරූපණයක් ශර්වානන්ද අගවිනිසුරු සිදු කරයි. මෙහිදී
ශර්වානන්ද අගවිනිසුරු සුළු ජාතිකයෙකු වන තමාගේ පවුල් පරිසරය ආශ්රයෙන් ලද
අත්දැකීම් Judicial Hunch මූලධර්මය හරහා යම්තාක්
දුරකට මෙම අර්ථ නිරූපණය වෙතට උකහාගෙන ඇති බව නිගමනය කළ හැකිය.
භාෂාව පිළිබඳව මෙම නඩුවේදී විවාදිත
වූ අවස්ථාවේදී වනසුන්දර විනිසුරු ද්‍රවිඩ භාෂාව රාජ්‍යය භාෂාවක් කොට ඉංග්‍රීසි
භාෂාව සන්ධාන භාෂාවක් කරලීම උදෙසා ජනතා කැමැත්ත විමසිය යුතු බව දක්වන්නේ අකුරුතා
න්‍යායික පසුබිමක සිටිමින් Judicial Hunch මූලධර්මය
භාවිතා කිරීමෙනි. නමුත් ඒ සදහා ජනමතවිචාරණයක අනවශ්‍යතාවය ශර්වානන්ද අගවිනිසුරු
පෙන්වාදී ඇත්තේ වටිනාකම්, අරමුණු සහ
සාධාරණත්වය මුසු වූ සමාජ විද්‍යාත්මක සහ ස්වාභාවික ගුරුකුල පදනමක සිටය. මෙලෙස ආගම
සහ භාෂාව යන මෙම විනිසුරුවරුන්ගේ ද්විත්ව අර්ථ නිරූපණයන් තුළ Lloyd
නම් නීතිවේදියා ප්‍රකාශ කළ " …..ඔහුගේ සමාජය තුළින්
ඔහුගේ මතවාදය පාලනය කරයි "[29]
යන්න සංගෘහිත වන බව නිගමනය කළ හැකිය.
ජනතා
නියෝජිතයන් දිවුරුම් දීමේදී යොදාගන්නා දිවුරුම් (Oaths) සම්බන්ධව ද මෙම නඩුකරය යටතේ
විවාදිත විය. මෙහිදී වනසුන්දර විනිසුරු අකුරුතා න්‍යාය යටතේ තර්ක කළේ පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට දිවුරුම් ද්විත්වයක් මෙම පනත්
කෙටුම්පත් හරහා ක්‍රියාත්මක වීම තුළ එය මෙරට අනාගතයට මහත් තර්ජනයක් විය හැකි බවයි.
නමුත් ශර්වානන්ද විනිසුරු එයද සාධාරණීකරණය කරන්නේ කාර්යාර්ථයේ නීති අර්ථ නිරූපණයක
සිටය. එහිදීද ඔහු සාධාරණත්ව මූලධර්මයන් තම අර්ථ නිරූපණ ප්‍රවේශයට උකහා ගෙන ඇත.
මෙම දහතුන්වන
ව්‍යවස්ථා නඩු තීරණය තුළ අර්ථ නිරූපණයන් ද්විත්වයක් සිදුවුවද මෙම තීරණය වර්තමානය
තුළද වැදගත් වන්නේ මෙය 5/9 ක තීරණයක්
බැවිනි. වර්තමානය වන විට පළාත් සභා සහ මධ්‍යම රජය අතර හරයාත්මක සහ කර්යයපටිපාටිමය
ඝට්ටනයන් දැකිය හැකිය. වයඹ පළාත් පාරිසරික ප්රඥප්තිය සම්මත වීම එයට පැහැදිලිම
නිදර්ශනයයි . ඒ අනුව මා නිගමනය කරන්නේ එකල සිටි ව්‍යවස්ථාමය වශයෙන් වගකිව යුතු
පුද්ගලයන් වනසුන්දර විනිසුරු ප්රමුඛ විනිසුරුවරුන්ගේ සුළුතර මතය බැහැර නොකොට මෙම
මතවාදය තුළින් ඉදිරිපත් වූ සාධනීය මතවාද ඇසුරු කරගනිමින් පනත් කෙටුම්පත තවදුරටත්
සංශෝධනය කර කිසිදු දුර්වලතාවයකින් තොරව ඉදිරිපත් කළේ නම් වර්තමානයේ සුදු අලියෙක්
බවට පත්ව තිබෙන පළාත් සභා සංකල්පය මෙයට වඩා ප්‍රායෝගික කාර්යක්ෂම ආයතනයක් වීමට
හැකියාව තිබූ බවයි. මෙම නඩුවේ
ද්විත්ව අර්ථ නිරූපණයන් හි සාරය ගෙන බලන විට අර්ථ නිරූපණ නිතිය හදාරන නීති
සිසුවෙකු ලෙස මා නිගමනය කරන්නේ වෙනස් වන සමාජ අවශ්‍යතා මත විනිසුරුවරුන්ගේ අර්ථ
නිරූපණ යාන්ත්‍රණය Dynamic Statutory Interpretation[30] බවට පත්වන
බවයි. එම නිසා උපරිම මහජන සාධාරණත්වය සුරක්ෂිත වන පරිදි අගයන්,
වටිනාකම් තහවුරු කෙරෙන අර්ථ නිරූපණයන් වෙතට තත්කාලීන විනිශ්චයක පර්ශදයන් ප්‍රවේශ
විය යුතුය.එය රටක මානව
සංහිදියාව තහවුරු වීමට මෙන්ම රටක අනාගත සංවර්ධනය උදෙසා මහගු පිටිවහලක් වනු ඇත.
[1]
Donaldson J Stated in Corocrafft Limited vs Pal American Airways Inc
(1969) 1QB 616
[2]
(1987) 2 Sri.L.R.312
[3] ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
යම්කිසි විධිවිධානයක් සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පතක් වේ නම් එසේ
පරිච්ඡින්න කරනු ලබන්නා වූ හෝ වෙනස් කරනු ලබන්නා වූ හෝ එකතු කරනු ලබන්නා වූ
විධිවිධාන ද ආනුෂාංගික සංශෝධනයක් වෙතොත් එය ද පනත් කෙටුම්පතෙහි නිශ්චිතව ප්රකාශිතව
ඇත්නම් මිස ද ඒ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සදහා වන පනතක්
බවට එහි දීර්ඝ නාමයෙහි විස්තර කොට ඇත්නම් මිස ද ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය
පත්‍රයට ඇතුළත් නොකළ යුත්තේය.
[4] "
අකුරුතා අර්ථ නිරූපණය
පිළිබද සිද්ධාන්තය පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය නම් න්‍යාය තුළින් පැමිණියකි."
[7] ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
1,2,3,6,7,8,9,10,11,30(2),62(2) යන ව්‍යවස්ථාවන් හා සම්බන්ධිත පනත් කෙටුම්පත් සම්මත වීමට
ජනමතවිචාරණයකදී ජනතාව අනුමත කළ යුතුය.
[8] "
අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
යටතේ ජනතාව වෙතට තමන් උදෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවර දී ඇත්තේය. එනිසා මෙකී
පරමාධිකාරීත්වය එනම් රටේ පරමාධීත්වය සහ එහි ඒකීය ස්වභාවය, රජයේ ප්රජාතන්ත්රවාදී
පදනම, සර්වජන ඡන්ද
අයිතිය, ජනතාවගේ මූලික
අයිතීන් හා ඒවා සුරක්ෂිත කරනු ලබන අධිකරණමය බලය ආදිය ජනතාවගේ අනුමැතියකින් තොරව
සංශෝධනය කළ හැකි බව සිතීමට පවා නොහැකි කාරණාවක් වන්නේය. "
[9]
AIR 1973. SC 1461
[10] තම ආකල්ප මත තීන්දුව
දුන් විනිසුරු එකී තීරණය සාධාරණීකරණය කිරීමට අවශ්‍ය නෛතික මූලධර්ම සොයා යෑම Judicial
Hunt නම් වෙයි.
[11]
G.E Devenish, Interpretation of Statutes (2nd,juta and co.Ltd,kenwyn,1996)49
[12] ශ්‍රී ලංකා ජනරජය ඒකීය
රජයකි
[13] ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
හෝ නීතියක් නිර්මාණය කරන විට එහි නිර්මාපකයන් අදහස් කළ අර්ථයට අනුරූප වන පරිදි
අර්ථ නිරූපණය කිරීම Originalism නම් වෙයි.
[14] ශ්‍රී ලංකා ජනරජයේ
පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත් හළ නොහැක්කේය. පරමාධිපත්‍යට
පාලන බලතල,මූලික
අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේය.
[15] පාර්ලිමේන්තුව විසින්
පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේය. කිසිම ආකාරයකින් අන්සතු නොකළ
යුත්තේය. කවර වූ හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරයක් පාර්ලිමේන්තුව විසින්
නොපිහිටුවිය යුත්තේය.
[16] ඇ.එ.ජ - අභිනියෝජනය
සදහා අවසර ලබාදෙනුයේ ඒ සදහා වූ ප්‍රතිපත්ති හා ප්රමිතීන් ව්‍යවස්ථාදායකය විසින්
දක්වාලීමෙන් අනතුරුවය. අදටත් පාලනය කළ නොහැකි අභිනියෝජන බලය කපා හෙළීමට ඇමරිකානු
අධිකරණය නැඹුරුතාව දක්වයි.
[17]
AIR 1951 SC 332
[18]
(1955) 1 SCR 290
[19]
AIR 1975 SC 1007
[20] පරිපාලනය විමධ්‍යගත
කිරීමෙන් සහ මහජන කටයුතුවලට සහ පාලන කටයුතුවලට සෑම අවස්ථාවකම ජනතාව සහභාගි කරවා
ගැනීමෙන් ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදී පදනම සහ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී
අයිතිවාසිකම්ද රජය විසින් තහවුරු කොට පුළුල් කළ යුත්තේය.
[21] නීතිය දෙස බැලිය
යුත්තේ පොතේ පවතින විධිමත් නීතියට වඩා විනිසුරු නීතිය අර්ථ නිරූපණය කොට දෙන
තීන්දුව හරහාය යන්න Bad Man Theory යන්නෙහි හරය වෙයි.
[22] රටේ ආරක්ෂාව ඇතුළුව
ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින්
ක්‍රියාත්මක කළ යුත්තේය.
[23]
G.E Devenish, Interpretation of Statutes (2nd,juta and
co.Ltd,kenwyn,1996)32
[24] මෙම ප්රතිපාදනයන්
ද්විත්වය තුළින් ආණ්ඩුකාරවරයා සතු බලය ජනාධිපතිවරයා සතු විධායක බලයට යටත් වෙයි.
[25] අභියාචනාධිකරණයේ
අධිකරණ බලය අන්තර්ගත වෙයි.
[26] "
අගයන් හා වටිනාකම්
පදනම්කරගත් න්‍යාය පනත පැනවූ අරමුණ සහ සාධාරණත්වය යන දෙකම විමසා බලන හෙයින් එය
කාර්යාර්ථයේ ප්‍රවේශයට වඩා පුළුල් ප්රවේශයකි. "
[28] විනිසුරු ලබාදෙන
තීන්දුව කෙරෙහි ඔහුගේ අත්දැකීම්/දේශපාලන වටපිටාව ආදී කරුණු බලපායි.
[29]Dennis
Lloyd, Introduction to Jurisprudence ( 6th, Sweet & Maxwell,
London,1994) 01/02
[30] සමකාලීන දේශපාලන/
සමාජීය / ආර්ථික සාධක, අවශ්‍යතා වලට
ඔබින පරිදි ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීමේ ක්රමවේදයයි.
Post By Akila Chamika Kodithuwakku