Saturday, January 2, 2016
නීතිවිරෝධි අකරණය සම්බන්ධයෙන් වැදගත් වන මෑතකාලීන දකුණු අප්‍රිකානු නඩුතීරණයක් විවරණය කිරීම
“අකරණය යනු යම්කිසි ක්‍රියාවක් නොකරහැරීමයි. එනම්, විත්තිකරුට යම් ක්‍රියාවක් ඉටුකිරීමට නෛතික වගකීමක් (Legal Duty) පැවරී ඇතිවිට එකී නෛතික වගකීම පැහැරහැරීම තුළ නීතිවිරෝධී අකරණය උද්ගත වේ”.
ඒ අනුව අකරණයක් ලෙස පැහැදිලි ව හඳුනාගත හැකි වන්නේ, චේතනාන්විත ව හෝ නොසැළකිල්ලෙන් යම්කිසි නෛතික වගකීමක් පැහැර හැරීමයි”.
අක්වීලියානු නඩුකරයෙහි මූලිකාංගයක් වන නීතිවිරෝධීභාවය යටතේ නීතිවිරෝධීභාවය උද්ගත වන පදනම් සාධකයක් ලෙස හැඳින්වෙන අකරණය පිළිබඳ ව හැදෑරීමේ දී McIntosh v. Premier, Kwazulu-Natal and
Another [2008] ZASCA 62 යන නඩුතීරණය වැදගත් වේ. මෙය දකුණු අප්‍රිකානු මහාධිකරණයක් විසින් දෙන ලද තීරණයකට එරෙහි අභියාචනයකි. එනම්, මෙහි දැක්වෙන්නේ, දකුණු අප්‍රිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද අවසානාත්මක තීරණයයි. Scott JA, Mthiyane JA, Nugent JA,
Maya JA සහ Hurt AJA
යන පංචපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙකී තීරණය සඳහා සිය දායකත්වය සපයන ලද අතර මෙය එකී විනිසුරු මඬුල්ලෙහි ඒකමතික තීරණයකි. ඒ අනුව මේ තුළින් අකරණය නම් නීතික්ෂේත්රයෙහි ඇති වූ ප්රගමණයන් අධ්‍යයනය කිරීම උදෙසා නඩුතීරණයෙහි සිද්ධිමය සාධක, අධිකරණයෙහි ප්රවේශයන් සහ නඩුතීරණයෙහි හරයාත්මක වටිනාකම් පිළිබඳ ව විශ්ලේෂණාත්මක ව අධ්‍යයනය කළ යුතුය.
මෙම නඩුතීරණයෙහි සිද්ධිමය සාධක විමසා බැලීමේ දී, පෙත්සම්කරු සිය මිතුරන් පිරිසක් සමග වගඋත්තරකාර පාර්ශ්වය යටතේ නඩත්තු වගකීම පවතින මාර්ගයක පාපැදි ධාවනයෙහි යෙදී සිටිය දී මාර්ගයෙහි තිබූ වලකට වැටී ඔහුට බරපතල තුවාල සිදුවිය.
පෙත්සම්කරු ඉන් අනතුරු ව අදාළ පළාත් පාලන ආයතනයට එරෙහි ව මහාධිකරණයෙහි නඩුවක් ගොනු කරමින් ප්‍රකාශ කරසිටියේ වගඋත්තරකරුවන් මාර්ගය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් මාර්ගයෙහි ගමන් කරන්නන් අවදානමක හෙලා ඇති බවයි. නමුත් ප්රාග්විනිශ්චයේ දී අදාළ පළාත් පාලන ආයතනයට මුක්තියක් සපයමින් පෙත්සම්කරුගේ තර්කයන් නිශ්ප්‍රභ කරන ලදී. එහි දී මහාධිකරණය ප්‍රකාශ කළේ, මෙම අනතුර ධාවකයාගේ නොසැළකිල්ල මත වූවක් බවයි. ඒ අනුව පෙත්සම්කරු එකී තීරණයට එරෙහි ව අභියාචනය කරමින් අපේක්ෂා කරනු ලැබූයේ, වගඋත්තරකාර පාර්ශවයෙහි අකරණය මත තමාට සිදු වූ හානි පූර්ණය කරගැනීමයි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙහි දී ප්‍රධාන කරුණු දෙකක් සලකා බලා ඇත. එනම්, පෙත්සම්කරුට වූ හානිය සාධාරණ ලෙස පූර්වේක්ෂණය කළ හැකිද? යන්නත්, බලධාරීන් සිය නෛතික වගකීම පැහැර හැර ඇත්ද? යන්නත්ය. මෙහි දී අධිකරණය 2001 අක 04 දරන Kwazulu-Natal පළාත් මාර්ග පනතෙහි 3(1) සහ 3(2) වගන්ති උපුටා දක්වමින් ප්‍රකාශ කරනු ලැබූයේ, වගඋත්තරකාර පාර්ශ්වය වෙත මාර්ගය නඩත්තු කිරීමේ වගකීමක් අදාළ පනත
හරහා පැවරී ඇති බවයි. ඒ අනුව එසේ ව්‍යවස්ථාපිත
ව දක්වා ඇති නෛතික වගකීමක් වගඋත්තරකාර පාර්ශ්වය විසින් අකරණය මගින් උල්ලංඝණය කර ඇති
හෙයින් දීලික්තමය නඩුනිමිත්තකට අවශ්‍ය අභිමතාර්ථයන් මුදුන්පත් වී ඇති බව Rail Commuters Action Group v. Transnet Ltd.
නඩුතීරණය උපුටා දක්වමින් අධිකරණය ප්‍රකාශ කරන
ලදී. මෙහි දී අධිකරණය විසින් දක්වන ලද මෙකී කරුණ අකරණය සම්බන්ධ ව අනුබද්ධ වන ආකාරය
විමසා බැලිය යුතුය. R. G.
McKerronට
අනුව අකරණයක් උද්ගත විය හැකි ප්‍රධාන ආකාර 04කි.
ඒ අතරින් එක් ආකාරයක් සමග උපයුක්ත ගැටලුව අනුබද්ධ වේ. එනම්, ව්‍යවස්ථාවකින්
යම් වගකීමක් පවරා ඇති විට එය නොකරහැරීම තුළින් නීතිවිරෝධී අකරණය උද්ගත වීමය. එසේ ම
J. Burchellට
අනුව ද අධිකරණයෙහි හඳුනාගැනීම නිවැරදිය. නමුත්
Max Loubser
අකරණය හඳුන්වා ඇති ආකාරය අනුව අධිකරණය ඇතැම්
කරුණු ආමන්ත්‍රණය කර නැත. එනම්, ව්‍යවස්ථාමය නෛතික වගකීමක් නොකරහැරීමෙන් අකරණය උද්ගත
වන අතර ම දැනීම යන සාධකය ඒ හා සමාන්තර ව දිවෙන බව මොහුගේ අදහසයි. එනම්, තමාගේ අකරණය
තුළ තවත් අයෙක් පීඩාවට පත්වන බවට තමාට පවතින දැනීමයි. ඒ අනුව අධිකරණය මෙය ද අදාළ කරගත්තේ නම් නඩුතීරණයෙහි
හරයාත්මක වටිනාකම් තවදුරටත් ඉස්මතු වනු ඇත.
මෙහි දී අභියාචක පාර්ශ්වය විසින් වගඋත්තරකාර පාර්ශ්වය අතින් වූ අකරණය පැහැදිලි සාක්ෂි මත ඔප්පු කිරීමට සමත් විය. එනම්, අදාළ මාර්ගය, අනතුර වීමට පෙර වසරක පමණ කාලයක සිට අබලන් තත්ත්වයෙහි පැවති බව පෙන්වා දෙන ලදී.
ඒ අනුව වගඋත්තරකාර පාර්ශ්වය චේතනාන්විත ව අකරණයක් සිදුකළ බවට ඔවුන්ගේ තර්කය විය. මෙහි දී වගඋත්තරකරුවන්ගේ ප්රතිතර්කය වූයේ, එය අසාධාරණ ප්‍රකාශයක් බවයි. අදාළ නෛතික වගකීම ඉටුකිරීමට සමත් මූල්‍ය ශක්‍යතාවයකින් තම ආයතනය සමන්විත නොවන බව ඔවුහු ප්‍රකාශ කළහ.
Scott විනිසුරුතුමන් මෙය පිළිගැනීමට මැළිවිය. ඔහු ප්‍රකාශ කළේ, මාර්ගය දැඩිලෙස අබලන් වන තෙක් නොසිට ඉතා අඩුවියදමකින් පිළිසකර කළ හැකි අවධියේ දී අදාළ ක්‍රියාව සිදුකළේ නම් අභියාචකට මෙවන් හානියක් සිදුනොවන බවයි. ඒ අනුව වගඋත්තරකරුවන් චේතනාන්විත ව හෝ නොසැළකිලිමත් ව පනතෙන් පවරා තිබූ නෛතික වගකීම පැහැර හැර ඇති බව අධිකරණයෙහි මතය විය.
ඉන් අනතුරු ව අධිකරණය 2001 අක 04 දරන Kwazulu-Natal පළාත් මාර්ග පනතෙහි 9(3) වගන්තිය සලකා බැලීය. එයට අනුව අමාත්‍යවරයා හට යම් විනිර්මුක්තියක් හිමිවේ.
නමුත් අධිකරණය පෙන්වා දුන්නේ, මෙම වගන්තිය අපැහැදිලි බවයි. ඒ අනුව බලධාරීන්ගෙන් සිදුවන නීතිවිරෝධී අකරණයන් සම්බන්ධයෙන් ඔවුන්ට විනිර්මුක්තියක් හිමිනොවිය යුතු බව ව්‍යවස්ථාදායකයෙහි චේතනාව වූ බවට තමන් විශ්වාස කරන බවට Scott විනිසුරුතුමන් දක්වා ඇත. C.G. Hall නම් රචකයා දක්වන්නේ, ව්‍යවස්ථාවක හෝ අනුනීතියක පුද්ගල යහපත තකා ඉටුකළ යුතු යමක් වේ ද එය ඉටුනොකිරීම තුළින් යමෙකුට වන හානි පූර්ණය කරගැනීමට සිවිල් ප්‍රතිකර්මයක් ගතහැකි බව බොහෝ ව්‍යවස්ථාවන් තුළින් ව්‍යංග ව විශද වන බවයි.
මෙහි දී අධිකරණය අදාළ ආයතනයෙහි විනිර්මුක්තිය බැහැර කිරීමට පෙළඹී ඇත්තේ, නූතන ප්‍රවේශය අනුගමනය කරමිනි.
වරදකාරීත්වය පිළිබඳ පොදු මහජන ප්‍රතිපත්තිය (legal conviction of the community) පිළිබඳ කරුණ ද මෙහි දී අධිකරණය විසින් හුවා දක්වන ලදී. ඒ අනුව වගඋත්තරකරුවන් විසින් තමන්ට මහජනයාට සේවය කිරීම පිණිස පවරාතිබූ නෛතික වගකීම පැහැර හැරීම මහජනයා අනුමත නොකරන බව අධිකරණයෙහි මතය විය. මෙහි දී Oceans Aquarium Trust v. Kantey
Templer (PTY) Ltd. නඩුතීරණය
උපුටා දක්වමින් අධිකරණය ප්‍රකාශ කළේ, නීතිවිරෝධීභාවය උද්ගත වන්නේ, පුද්ගලයෙකු හෝ දේපළ මතට භෞතික වශයෙන් හානි විය හැකි යමක් කිරීමෙන් හෝ නොකරහැරීමෙන් වන අතර නීතිවිරෝධීභාවය යන සාධකය යැපෙනුයේ, නෛතික වගකීම්, ක්‍රියාව, අකරණය මත පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පදනම් සමග අනුබද්ධ වූ මහජන හෝ නෛතික ප්‍රතිපත්තිය මත බවයි. ඒ අනුව අධිකරණය මෙහි දී නූතන ප්‍රවේශයට අනුගතවීමක් දක්නට ලැබේ.
අධිකරණය මේ සම්බන්ධ ව පවතින සාම්ප්‍රදායික මතය බැහැර කළ බවට කදිම සාධකයක් වන්නේ, පූර්ව සක්‍රීය ක්‍රියාව යන සාධකය බැහැර කිරීමයි.
ඒ අනුව අධිකරණය විසින් අභියාචක පාර්ශ්වයට වූ හානිය සාධාරණ ලෙස පූර්වේක්ෂණය කළ හැක්කක් වූ බැවින් මෙකී කාරණය නඩුතීරණය තුළ සාකච්ඡා කර නොමැත. ඒ අනුව අධිකරණය මෙහි දී වගඋත්තරකාර පාර්ශ්වයට එල්ල වන චෝදනාවන් කරුණු කිහිපයකට ලඝු කර දක්වන ලදී. එනම්, සතිපතා මාර්ගය නිරීක්ෂණය නොකිරීම, අනතුර සිදුවීමට වසරකට පමණ පෙර සිට මාර්ගය පිළිසකර කර නොතිබීම, මාර්ගය පිළිසකර නොකිරීම පිළිබඳ ව සාධාරණ ලෙස පිළිගත හැකි හේතු ඉදිරිපත් නොකිරීම යන කරුණු ප්‍රකාර ව වගඋත්තරකරුවන් අකරණය සම්බන්ධ ව වගකීමෙන් බැඳෙන බැව් අධිකරණයෙහි මතය විය. ඊට අමතර ව අභියාචක පාර්ශ්වයෙහි සහයක නොසැළකිල්ල ද ඔහුට වූ හානි සඳහා හේතු පාදක වූ බව අධිකරණයෙහි මතය විය.
එම නිසා අධිකරණය තීරණය කළේ, අභියාචක පාර්ශ්වයට වූ හානි වෙනුවෙන් වන මූල්‍යමය වටිනාකමින් 60%ක් වගඋත්තරකාර පාර්ශ්වය විසින් ගෙවිය යුතු බවත් ඉතිරි 40% අභියාචක විසින් දරාගත යුතු බවත්ය. මෙහි දී අධිකරණය සිය තීරණය තහවුරු කිරීම උදෙසා ව්‍යවස්ථාපිත ප්රතිපාදනයක් යොදා ගත හැකිව තිබුණත් එසේ නොකිරීම නිශේධනීය ලක්ෂණයකි. එනම්, Apportionment of Damages Act 34 of
1956 හි 1(a) වගන්තිය
උපුටා දක්වමින් අධිකරණයට සිය මතය තහවුරු කිරීමට හැකියාව තිබිණි.
ඊට අමතර ව මෙම නඩුතීරණය නීතිවිරෝධී අකරණය සම්බන්ධ ව වර්ධනීය අවධීන් සනිටුහන් කළ අතර එහි උපයෝගීතාවය පිළිබඳ ව පසු ව තීරණය වූ අධිකරණ තීරණ සඳහා මෙම නඩුතීරණය නිදර්ශනයට ගැනීම තුළ විද්‍යමාන වේ. ඉන් පිළිබිඹු වන්නේ, මෙකී නඩුතීරණය අදාළ විෂය ක්ෂේත්රය සම්බන්ධ ව අධිකාරීත්ව බලයක් දරන බවයි. Kruger v. Mangaung
Plaaslike Municipaliteit නඩුතීරණය
තුළ ද ව්‍යවස්ථාපිත ව පවරා ඇති නෛතික වගකීම් නොකරහැරීම පිළිබඳ ව සාකච්ඡා කර ඇති අතර එහි දී ප්‍රකාශ කරන ලද්දේ, අදාළ නඩුතීරණවල සිද්ධිමය සාධක එකිනෙකට නොගැළපුණ ද McIntosh නඩුතීරණයේ හරයාත්මක පදනම වැදගත් කොට සැළකිය යුතු බවයි. ඊට අමතර ව අකරණය සම්බන්ධ ව දීලික්තමය වගකීම පැවරීමේ දී මහජන ප්‍රතිපත්තිය නම් සාධකය අදාළ කරගත යුතු බවට මෙම නඩුතීරණයෙහි දක්වන ලද ප්රෝක්ති Dudley Lee v. The Minister
of Correctional Services නඩුතීරණය
තුළ එනයින් ම අදාළ කොටගෙන තිබේ. මහජනයාට සේවය කිරීම උදෙසා පවත්නා නෛතික වගකීමක් නොකරහැරීම සම්බන්ධ ව චෝදනා ලද්දෙක් තම ආයතනයෙහි පවත්නා මූල්‍ය හිඟකම නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කිරීමෙහි පවතින අසාධාරණභාවය පිළිබඳ ව McIntosh නඩුතීරණයෙහි දැක්වූ කරුණු වස්තුවිෂය කරගැනීමට Madolo John Butise v. The
City of Johannesburg and Others නඩුතීරණයෙහි
විනිසුරුවරුන් පෙළඹී තිබේ.
එසේ ම නීතිවිරෝධී අකරණයක් සිදු වී ඇත්ද? යන්න සලකා බැලීමේ දී “නෛතික වගකීම” යන්න අනිවාර්ය සාධකයක් ලෙස සලකා බැලිය යුතු බවට Scott විනිසුරු මෙහි දී දක්වන ලද මතය Moqhaka Municipality v. M.A.
Mariti නඩුතීරණයේ දී , Chartaprops 16 (PTY) Ltd.v. Silberman නඩුවේ දී සහ Cecilia
Goliath v. Member of the Executive Council
for Health Eastern Cape නඩුතීරණයේ දී
එනයින් ම උපුටාගෙන තිබේ. ඊට අමතර ව F v. Minister of Safety and Security and Others නඩුවේ දී
වරදකාරීත්වය පිළිබඳ පොදු මහජන මතය, නීතිවිරෝධී අකරණය යන සංකල්ප සුපෝෂණය කිරීමට දායක වූ නඩුතීරණයක් ලෙස McIntosh නඩුතීරණය හඳුන්වා දෙන ලදී.
ඒ අනුව අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය තුළ McIntosh නඩුතීරණයට ප්‍රබල අධිකාරී බලයක් ලැබී ඇති බව පැහැදිලිය.
එපමණක් නොව ග්රන්ථ කතුවරුන් සහ පර්යේෂණ ලිපි මගින් ද අකරණය සම්බන්ධ ව මෙකී නඩුතීරණයෙහි පවත්නා හරයාත්මක වටිනාකම් අගය කොට ඇත. C.G. Van
der Merwe iy J.E. Du Plessis නම් නීතිවේදීන්ට අනුව වරදකාරීත්වය පිළිබඳ පොදු මහජන මතය පිළිබඳ ව නිර්ණය කිරීමට නම් අධිකරණය විසින් සිද්ධිඅනුසිද්ධි උපේක්ෂා සහගත ව විවරණය කළ යුතුය.
පොදු මහජන ආයතන මගින් වන නීතිවිරෝධී අකරණයන් සම්බන්ධ ව මෙකී කරුණ බහුල ව අනුබද්ධ වන බවත් McIntosh නඩුතීරණයේ දී අධිකරණයෙහි කාර්යභාරය සාධනීය බවත් මොවුන්ට අනුව නිගමනය කළ හැකිය. එසේ ම John
Blackie නම් නීතිවේදියා McIntosh නඩුතීරණය උදාහරණයක් ලෙස දක්වමින් ප්‍රකාශ කරනුයේ, පොදු මහජන ආයතනවලින් සිදුවන නීතිවිරෝධී අකරණය සම්බන්ධ ව ප්‍රබල ව්‍යවස්ථාපිත සහ අධිකරණමය මැදිහත්මක් දකුණු අප්‍රිකාව තුළ දැකිය හැකි බවයි.
නමුත් Alistair
Price සිය පර්යේෂණ ලිපියක් මගින් මෙම නඩුතීරණය විවේචනය කර ඇත. ඔහුට අනුව මහජන ආයතනවලින් සිදුවන අකරණයන් හේතුවෙන් පුද්ගලයන් භෞතික ව හානියට පත්වන බොහෝ අවස්ථාවල දී දකුණු අප්‍රිකානු අධිකරණ අනුගමනය කරඇත්තේ, දීලික්ත ප්‍රතිකර්ම ලබා දීම පමණක් බවත් පුද්ගල අයිතීන් පිළිබඳ ව ප්‍රබල ව අවධාරණය කර නැති බවත්ය.
මේ අනුව McKerron දක්වන පරිදි යම් ක්‍රියාවක් හෝ අකරණයක් වැරදි සහගත වන්නේ හුදු නොසැළකිල්ල හෝ චේතනාව නිසා නොව එය යුතුකම් කඩකිරීමක් වන විටදීය.
ඒ අනුව යථෝක්ත නඩුතීරණය පැහැදිලි ව ම යුතුකම් කඩකිරීමක් පිළිබඳ ව සාකච්ඡා වූවකි. එනම්, මෙම නඩුවෙහි සිද්ධිමය සාධක අනුව පෙනී යන්නේ, අභියාචකගේ අයිතිවාසිකමක් වගඋත්තරකරු (පළාත්පාලන ආයතනය) විසින් කඩකිරීමකි. එනම්, අභියාචකට තමා ගෙවන බදු මුදල්වලට සාපේක්ෂ ව සුවපහසු ගමනක යෙදීමේ අයිතියක් පවතී. එකී අයිතිය ආරක්ෂා කිරීමට වගඋත්තරකරුවන්ට නෛතික යුතුකමක් පවතී. එම නෛතික යුතුකම කඩකිරීම නිසා නීතිවිරෝධී අකරණය උද්ගත විය.
මෙහි දී අධිකරණය වගඋත්තරකරුවන් වෙත දීලික්තමය වගකීම පවරා ඇත්තේ, නෛතික වගකීම, අකරණය, වරදකාරීත්වය පිළිබඳ පොදු මහජන මතය යන නෛතික සංකල්ප මත පිහිටාය. ඒ අනුව මහජන ප්‍රතිපත්තිය යන සාධකය ඉස්මතු කර පූර්ව සක්‍රීය ක්‍රියාව නම් සාධකය බැහැර කිරීම තුළ විශද වන්නේ, විනිසුරුවරු අකරණය සම්බන්ධ ව පවතින නූතන ප්‍රවේශය වෙත රුචිකත්වයක් දක්වන බවයි. එනම්, මින් විශද වන්නේ පරිපාලන ආයතනයෙහි විනිර්මුක්තියට වඩා පුද්ගල අයිතීන් වෙනුවෙන් අධිකරණය පෙනී සිටි බවයි.
ඊට අමතර ව වගඋත්තරකරුවන්ගේ නීතිවිරෝධි අකරණයට සාපේක්ෂ ව අභියාචකගේ සහයක නොසැළකිල්ල ද අවධාරණය කරමින් සාධාරණත්ව පදනමක් මත නඩුව විභාග කීරීම තුළ විශද වන්නේ, විනිසුරුවරු අගයන් හා වටිනාකම් මත පදනම් වූ අර්ථනිරූපණ න්‍යාය ගුරුකොට ගනිමින් අකරණය සම්බන්ධ නීතික්ෂේත්රය පුළුල් කිරීමට උත්සුක වූ බවයි. ඒ අනුව මෙම නඩුතීරණය අකරණය සම්බන්ධ නීති ක්ෂේත්රයේ දී මගපෙන්වීමේ අධිකාරියක් ලෙස යොදාගත හැකි බැව් උක්ත විග්‍රහය අනුව යමින් නිගමනය කළ හැකිය.
ආශ්රිත ග්රන්ථ නාමාවලිය
Cecilia
Goliath v. Member of the Executive Council
for Health Eastern Cape [2014] ZASCA 182
Chartaprops
16 (PTY) Ltd. V. Silberman [2008]
ZASCA 115
Dudley
Lee v. The Minister of Correctional
Services
Case no. 10416/04
F v. Minister of Safety and Security and Others [2011]
ZACC 37
Kruger v. Mangaung Plaaslike Municipaliteit Case
no. 5001/2008
Madolo
John Butise v. The City of Johannesburg
and Others Case no. 5443/2007
McIntosh v. Premier, Kwazulu-Natal and Another [2008] ZASCA 62
Moqhaka
Municipality v. M.A. Mariti Case no.
227/2007
Burchell J., Principles of Delict,
(1993). Juta and co. Ltd.: Cape Town.
Hall C.G., MAASDROP’S INSTITUTES OF SOUTH AFRICAN LAW
: 8th, (1971). Juta and co.
Ltd.: Cape Town.
Loubser M., The Law of Delict
in South Africa (2013). Oxford
University press: Oxford.
McKerron
R. G., The Law of Delict; 7th , (1971).
Juta and co. Ltd.: Cape Town.
Reid E. and Visser D. (eds.), Private
Law and Human Rights: 1st, (2013). Edinburgh University Press Ltd.:
Edingburgh.
Van der Merwe C.G., Du Plessis J.E., Introduction
to the Law of South Africa, (2004). Kluwer Law International:
Netherland.
Lee R.W., Torts and Delicts [1918] Yale Law Journal: vol. 27, No.
06.
Price A., “The Impact of The
Bill of Rights on State Delictual Liability for Negligence in South Africa”,
(1997).
From - Suranga Bandara Senevirathna
Saranga Bandara Senevirathna