Monday, February 1, 2016
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (UNCRC) ආශ්රිත ව වැදගත් වන නඩුතීරණ- දෙවන කොටස
KENYA
C.K. and Others v. Commissioner of Police / Inspector
General of the National Police Service and others Petition 8 of 2012 [2013] eKLR
මෙහි දී ළමා අපයෝජනයන්ට ලක් වූ පෙත්සම්කාරියන් 11දෙනෙකු වූ අතර, 12වන පෙත්සම්කරුවා වූයේ, කෙන්යානු රජය සමග සම්බන්ධ ව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයෙකි. ඉහත කී පෙත්සම්කාරියන් 11දෙනා කෙන්යානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර ව කෙලෙසීමට ලක් වූ අයයි. පෙත්සම්කාර ගැහැනු දරුවන් 2008-2012 අතර කාලය තුළ ලිංගික අපයෝජනවලට ලක් වූ පිරිසකි. මොවුන් තමන්ට සිදු වූ අපයෝජනයන් පිළිබඳ ව විවිධ ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානවලට පැමිණිලි කළ ද ඒවා නොසලකා හැරීම නිසා නඩුවෙන් ආයාචනය කර සිටියේ, අදාළ පරීක්ෂණ කඩිනම් කරවා සාක්ෂිකරුවන් අධිකරණය ඉදිරියට ගෙන ඒම සඳහා අදාළ පොලිස් නිලධාරීන්ට අනුබල දෙන ලෙසයි. මෙහි දී පෙත්සම්කාර පාර්ශ්වය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙසේ අපරාධකරුවන්ට දඬුවම් නොලැබී යෑම තුළ ඔවුන් නිදැල්ලේ හැසිරෙන නමුත් අපරාධයට ලක් වූ දරුවන් භෞතික ව මෙන් මානසික ව ද පීඩා විඳින බවයි.
අපයෝජනයට ලක් වූ පෙත්සම්කාරියන්ගේ වයස පිළිවෙළින් අවුරුදු 05, අවුරුදු 15, අවුරුදු 08, අවරුදු 12, අවුරුදු 11, අවුරුදු 08, අවුරුදු 13, අවුරුදු 15, අවුරුදු 11, විය. ඒ අනුව අන්තර්ජාතික ප්‍රාමාණිකයන්ට අනුව මොවුන් අනිවාර්යයෙන් ම ළමුන් බව පැහැදිලිය. එබැවින් උපයුක්ත පෙත්සම්කාරියන් අදාළ පොලිස් විමර්ශන සහ පැමිණිලි සටහන් කරගැනීමේ දී පෙත්සම්කාරියන්ට අගෞරව වන ලෙස හැසිරීම ආදී නොයෙකුත් කාරණා හේතුවෙන් ඔවුන් පොදුවේ කියා සිටියේ තමන්ට පොලිසියෙන් සිදු වූ මෙකී කාරණා හේතුවෙන් කෙන්යා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 , 21 , 27
, 28 , 29 , 48 , 50(1), 53(1)(
c), 53(1)(d) යන ව්‍යවස්ථා උල්ලංඝණය වූ බවයි.
අධිකරණය ප්රකාශ කළේ, කෙන්යානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22(1) සහ 22(2) අනුව්‍යවස්ථාවන් ප්‍රකාර ව අදාළ රාජ්‍ය නොවන සංවිධානයට අදාළ පෙත්සම්කාරියන්ගේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පෙනී සිටීමට බලය පවතින බවයි. මෙහි ඇතැම් සිද්ධිවල ලිංගික ව කෙලෙසුණු ගැහැනු දරුවන් සම්බන්ධ ව පොලිසිය කටයුතු කරඇත්තේ, සමාව දියනොහැකි අන්දමින් සහ නීත්‍යනුකූල නොවන අන්දමින් බව අධිකරණය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2(5) සහ 2(6) අනුව්‍යවස්ථාවන් ප්‍රකාර ව මෙකී නඩුතීරණයට අන්තර්ජාතික ප්‍රාමාණිකයන් ඍජු ව අදාළ කරගත හැකි බව විනිසුරුවරුන්ගේ මතය විය.
අධිකරණය කරුණු විමසා බලා ප්‍රකාශ කර සිටියේ, මෙකී පෙත්සම්කාරියන්ට ඉතා දරුණු කිවනොහැකි තරම් වන අප්‍රමාණ හානියක් වී ඇති බව සහ ඇතැම් දරුවන් ඒ මගින් අනවශ්‍ය ගැබ්ගැනීම්වලටත් ලක් ව ඇති අතර, එකී දරුවන් දරුවෙකු බහිකිරීමට තරම් ශාරීරික ව වර්ධනය වී නොමැති බවත්, ඇතැම් දරුවන් ඉතා අවාසනාවන්ත ලෙස HIV AIDS වැනි ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝගවලට ද ගොදුරු වී ඇති බවත්ය. පොලිසියේ ක්‍රියාකලාපය නිසා අපරාධකරුවන්ගේ බිය නැති වී ඇති බවට අධිකරණය ප්‍රකාශ කරන ලදී. අනතුරට භාජනය විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමේ දී විශේෂයෙන් ම ගැහැනු දරුවන් ආරක්ෂා කිරීමට රජයට පූර්ණ වගකීමක් පවතින බව අධිකරණය තරයේ ප්‍රකාශ කළේය. R V Commissioner
of Police & 3 Others නඩුව උපුටා දක්වමින් සෑම රාජ්‍යයකට ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවලින් උපහටයන්ට උපරිම යහපත සැලැස්වීම සඳහා විධිවිධාන සලසා ඇති අතර සැක දුරුවන පරිදි පරීක්ෂණ පැවැත්වීම රාජ්‍යයක වගකීම විය යුතු බවත් ඒ තුළින් රටවැසියාගේ ආරක්ෂාව තහවුරු කරන බවත් අධිකරණය ප්‍රකාශ කරන ලදී.
ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට සාධනීය බැඳීමක් ඇති බවත් කාන්තාවන් හා දරුවන් ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කිරීමටත් ඔවුන්ගේ ගරුත්වය තහවුරු කිරීමටත් පොලිස් නිලධාරීන්ට වගකීමක් පවතින බව CARMICHLE V MINISTER
SAFETY AND SECURITY AND ANOTHER(SUPRA) නඩුවේ දී ප්රකාශ කර ඇති බව අධිකරණය විසින් පෙන්වා දෙන ලදී. කෙන්යා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53(1)(d) අනුව්‍යවස්ථාව ප්‍රකාර ව අපයෝජනයන්ගෙන් ආරක්ෂාවීමට, හිංසාකාරී සංස්කෘතික සිරිත්වලින් මිදීමට, සියලු ආකාරයේ ප්‍රචන්ඩත්වයෙන් මිදීමට, සියලු අවමන් සහගත සැලකිලිවලින් මිදීමට සහ දඬුවම්වලින් මිදීමට, ශ්‍රමය සූරාකෑමෙන් මිදීමට පවතින අයිතිවාසිකම පිළිබඳ ව දක්වා ඇත. ඒ අනුව අධිකරණය ප්රකාශ කළේ, මෙකී ප්‍රතිපාදනය තුළින් ළමයින් සම්බන්ධ අන්තර්ජාතික ප්‍රාමාණිකයක් වන ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි තෙවන වගන්තියෙහි සඳහන් ළමයාගේ උපරිම යහපත කෙන්යාව තුළ ව්‍යවස්ථාපිත ව තහවුරු කර ඇති බවයි. නමුත් 53(1) අනුව්‍යවස්ථාව පොලිසිය විසින් කඩ කරනු ලැබ ඇති බැවින් රාජ්‍ය ආයතන මගින් දරුවාගේ උපරිම යහපත ඉටුකිරීමට අසමත් ව ඇති බව පෙනී යන බව අධිකරණය දැක්වීය. එසේ ම ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අපරානුමත කිරීම තුළ දරුවන්ට එරෙහි ව සියලුම අපරාධ කරන්නන් හට දඬුවම් දීමට රාජ්‍යයට වගකීමක් පවතින බව Transvaal V Minister
of Justice and Constitutional Development, and others නඩුව උපුටා දක්වමින් අධිකරණය පෙන්වා දෙන ලදී. ඒ තුළින් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 19වන ව්‍යවස්ථාව මත මෙහි අපේක්ෂිත අරමුණු ඉටුවන බව අධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
පෙත්සම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව අධිකරණය විසින් පිළිගන්නා ලදී. මේ අනුව අදාළ අපරාධයන් පිළිබඳ ව වෘත්තීය මට්ටමේ විමර්ශන සිදු කළ යුතු බව අධිකරණය තීරණය කරන ලදී.
යථෝක්ත නඩුතීරණය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය තුළ සඳහන් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සිය රටේ අභ්‍යන්තර නීතිපද්ධතිය ආශ්‍රයෙන් මනාව විග්‍රහ කර ඇත. අධිකරණය විසින් ළමයින් සම්බන්ධ ව රාජ්‍යයකට පවතින වගකීම් ඉතා පුළුල් ලෙස හඳුනාගෙන ඇති බවක් පෙනී යයි. එනම්, ළමයෙකු යම් ප්‍රචණ්ඩත්වයකට ලක් වූ විට ඒවා සම්බන්ධ ව පරීක්ෂණ පැවැත්වීම පිළිබඳවත්, ඒවා නිවාරණයේ වැදගත්කම පිළිබඳවත් අධිකරණය කරුණු දක්වා ඇත. ඉහත නඩුතීරණයේ දී දරුවන් සම්බන්ධ රාජ්‍ය වගකීම නියමාකාරයෙන් ඉටු නොවී ඇති බව අධිකරණය හඳුනා ගැනීම සාධනීය ලක්ෂණයකි. මෙහි දී ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 3 සහ 19 යන ව්‍යවස්ථා ඍජු ව අදාළ කරගෙන ඇති අතර 4, 5, 6, 7,
8, 19, 34, 39 යන ප්‍රතිපාදනයන් නඩුතීරණය තුළ අභ්‍යන්තර නෛතික රාමුව සමග සංකලනාත්මක ව විග්‍රහ කොට ඇත.
BERMUDA
DAYNA KIM SAMPSON
v. COREY ANTON W. SAMPSON [2009] SC (Bda) 44 Div (25 September 2009)
සැමියා සහ බිරිඳ අධිකරණමය වෙන්වීමක් ලබාගෙන තිබුණු අතර එසේ වෙන් වීමේ දී ඔවුන්ට ඔවුන්ගේ දරුවා සම්බන්ධ ව හවුල් භාරකාරත්වයක් අධිකරණය විසින් ලබා දෙන ලදී. ඒ අනුව දරුවාගේ රැකවරණය සහ පාලනය මවට ලබාදුන් අතර නඩත්තු කටයුතු පියාට ලබාදෙන ලදී. මව සඳුදා සිට සිකුරාදා දක්වා දරුවා බලාගත් යුතු අතර, සිකුරාදා සවස පාසල නිමවීමෙන් පසු ඉරිදා සවස 7.00 දක්වා පියා විසින් දරුවා බලා ගත යුතුය. ඊට අමතර ව පියා විසින් දරුවාගේ නඩත්තු මුදල වශයෙන් ඩොලර් 630ක් මාස්පතා ගෙවිය යුතු විය. මේ අතර මව වන DAYNAට අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට විදේශගත වීමට සිදුවිය. එසේ ඇය විදේශගත වූයේ, දරුවා පියා භාරයේ තබාය. ඒ අතර දරුවා අධ්‍යාපනය ලබමින් පියා යටතේ හැදීවැඩුණි. මව නැවත පැමිණීමෙන් අනතුරු ව අධිකරණයට පෙත්සමක් ගොනුකරමින් ප්‍රකාශ කර සිටියේ, දරුවාගේ පියා විසින් දරුවා සම්බන්ධ ව ප්‍රාග්විනිශ්චයේ දී දුන් බලය අතික්‍රමණය කරන බවයි. අධිකරණය ප්රකාශ කළේ මව විදේශගත වී ප්‍රතිකාර ලබාගන්නා අවදියේ දී දරුවා පියාට වඩාත් සමීප වූ බවට කිසිඳු සැකයක් නොපවතින බවයි. ඒ අනුව මෙහි දී අධිකරණය විසින් දරුවාගේ භාරකාරත්වය සහ දරුවාට ප්‍රවේශ වීම යන කරුණු පිළිබඳ ව සලකා බලන ලදී.
අධිකරණය සාක්ෂි විමසා බලා ප්‍රකාශ කරන ලද්දේ, මව ප්‍රතිකාර ලබා නැවත පැමිණෙන තුරු දරුවා රැකබලා ගන්නා ලෙස පියාගෙන් ඉල්ලා සිටි බවයි. එහි දී පියගේ රැකවරණය හා ප්‍රවේශය දරුවාට හිතකර වූ බවත් අධිකරණය කිසිඳු සැකයකින් තොර ව පිළිගන්නා ලදී.
යම් යුක්තිසහගත අවස්ථා සහ ව්‍යතිරේකී අවස්ථාවන් හැරුණු කොට දෙමාපිය ප්‍රවේශය දරුවා කෙරෙහි ලැබීම දරුවාගේ අයිතිවාසිකමකි.
එය දෙමාපියන්ගේ අභිමතය පරිදි ඔවුන්ගෙන් එක් පාර්ශ්වයකට දරුවාට ප්‍රවේශවීමට ඇති අයිතිය අහිමි කළ නොහැක. මවගේ සහ පියාගේ අවධානය සමාන ව දරුවා කෙරෙහි යොමුවීම තුළ දරුවාගේ උපරිම යහපත උදාවීම සහ දරුවා අපයෝජනවයට ලක්වීමේ අවස්ථා ඒ තුළින් අඩුවන බව විනිසුරුවරුන්ගේ මතය විය. මෙහි දී අධිකරණය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි තෙවන වගන්තිය ඍජු ව ම අදාළ නොකර ගත්ත ද එහි හරය නඩුතීරණයට යොදාගැනීමට සමත් ව තිබීම වැදගත් ලක්ෂණයකි. දරුවා යුක්තිසහගත ව නඩත්තු කිරීම දෙමාපියන්ගේ වගකීමක් වන අතර, එය එකිනෙකාට මෙතරම් යැයි බෙදා දීම අධිකරණයට ප්‍රායෝගික ව සිදුකළ නොහැකි අතර හැකි සෑම විට ම දෙමාපියන් එය උපරිමයෙන් සිදුකළ යුතු බව අධිකරණය ප්‍රකාශ කරන ලදී. මෙම ප්‍රකාශය සිදුකිරීමට ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 9(3) අනුව්‍යවස්ථාව සහ
2002 ළමයින් පිළිබඳ (සංශෝධන) පනතෙහි 36(1)
B-F පාදක කොටගත් බව නඩුතීරණයෙහි පාදක සටහන්වල දක්වා ඇත. අධිකරණය ප්රකාශ කළේ, දෙමාපියන් දෙදෙනාම දැනඋගත් පොහොසත් අය බැවින් භාරකාරත්වය කා හට පැවරුව ද දරුවාගේ උපරිම යහපත සැලසෙන බවයි. ඒ අනුව දරුවාගේ නඩත්තු මුදල් ගෙවීම පිළිබඳ ව දෙදෙනාට ම සියයට 50 බැගින් බෙදා දෙන ලදී (ආදායම ගණනය කිරීමෙන් අනතුරුව). ඒ අනුව අධිකරණය ප්රකාශ කළේ මොවුන් දෙදෙනාට දරුවා පිළිබඳ ව සමභාරකාරත්වයක් රැකවරණ අයිතියක් පවතින බව මොවුන් විසින් තරයේ පිළිගත යුතු බවයි. ඒ අනුව දරුවා බලාගැනීමට මවට සහ පියාට සතියෙන් සතිය මාරුවෙන් මාරුවට අවස්ථාව සලසා දෙන ලදී.
ප්‍රාග්විනිශ්චය පදනම් කරගනිමින් පෙත්සම්කාර පාර්ශ්වයෙහි නීතිඥවරයා තර්ක කළේ, හවුල් භාරකාරත්වය ප්‍රදානය කිරීමෙන් අධිකරණය දරුවාගේ උපරිම යහපත සලසා දීමට අපොහොසත් වූ බවයි. නමුත් විනිසුරුවරුන්ගේ මතය වූයේ, එවැන්නක් සිදුනොවන බවයි. පෙත්සම්කාර පාර්ශ්වය Gregory v. Gregory නඩුතීරණය යොදාගනිමින් හවුල්භාරකාරත්වයේ දුර්වලතා පෙන්නුම් කළ ද අධිකරණය පෙර ස්ථාවරයේ ම සිටින ලදී. පෙත්සම ඉදිරිපත් කළේ මව විසින් වුව ද පෙත්සමෙන් ඔවුන් දෙදෙනාම බැඳන බව අධිකරණය ප්‍රකාශ කරන ලදී. ඒ අනුව විනිසුරුවරුන් ප්‍රකාශ කළේ, දෙමාපියන්ගේ ප්‍රවේශය දරුවාට මවගෙන් සහ පියාගෙන් සමසම ව ලැබිය යුතු බවත් දරුවා ප්‍රතික්ෂේප කළහොත් මිස ඔවුන්ගෙන් එක් අයෙකුටවත් එය අවහිර කළ නොහැකි බවයි.
මෙම නඩුතීරණය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සමග සමවාය වන අතර, භාරකාරත්වය සහ රැකවරණ අයිතිය පිළිබඳ ව තීරණය කිරීමේ දී අධිකරණය ළමයාගේ උපරිම යහපත පිළිබඳ ව ඉතා පුළුල් ව සාකච්ඡා කර ඇත. එමෙන් ම උක්ත නඩුතීරණය මගින් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි තෙවන ව්‍යවස්ථාව සහ
9(3) අනුව්‍යවස්ථාව අතර පවත්නා අනුකූලතාවයන් සහ සමගාමීත්වය මනාව විග්‍රහ කොට තිබේ. එනම්, අධිකරණය විසින් පෙන්වා දෙන ලද්දේ, ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි තෙවන ව්‍යවස්ථාව ඉටුවීමට නම් එකී සම්මුතියේ 9(3) අනුව්‍යවස්ථාව පිළිපැදීම අත්‍යවශ්‍ය බවයි.
MALAWI
Evans Moyo v. The Attorney General Constitutional Case no 12
of 2007
පෙත්සම්කරු ප්‍රකාශ කර සිටියේ, තමන් අවුරුදු 16 සිට 20වන තෙක් සිරගත ව සිටි බවයි. ඒ යටතේ මලාවි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(2)(g) , ළමා හා යෞවනයන් පිළිබඳ පනතේ 4වන වගන්තිය , ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 37වන ව්‍යවස්ථාව, ICCPR හි 10(2)(b) සඳහන් අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව ප්‍රකාශ කරමින් පෙත්සම ගොනු කරන ලදී. ඒ අනුව පූර්ව නඩුතීරණයෙන් තමා පීඩාවට පත් වූ බවත්, ඒ අනුව තමාට අධ්‍යාපනයේ සහ අභ්‍යාසනයේ අයිතිය අහිමි වූ බවත් පෙත්සම්කරු ප්‍රකාශ කර සිටියේය. පෙත්සම්කරු අත්අඩංගුවට ගත්තේ මිනීමැරීමේ වරදටය. අපරාධය සිදුකරන විට ඔහුට අවුරුදු 16කි. අදාළ සිද්ධියෙන් පසු පෙත්සම්කරු තම දෙමාපියන් සමග පොලිසියට ගොස් බාර වූ අතර අධිකරණය තීරණය කළේ මොහු ව රැඳවුම්භාරයේ තබාගෙන නඩුව විභාග කිරීමටය. එසේ ඔහු වයස අවුරුදු 20වන තෙක් සිරභාරයේ සිටින ලදී. ඒ අනුව බාලකයෙක් වැඩිහිටියන් සමග සිරභාරයේ රඳවා තැබීම තුළ ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇත. අධිකරණය තීරණය කළ යුතුව තිබුණේ මොහු ව වහාම නිදහස් කර අදාළ සිද්ධිය විභාග කිරීමට පරීක්ෂක මණුඩලයකට පැවරීමයි. මලාවි රාජ්‍යයේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය මලාවි ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සමාන ව කටයුතු කළ යුතුය. ඒ අනුව කුමන හෝ නීතියක් මලාවි ව්‍යවස්ථාව අනුව නොගැළපේ නම් ඒවා වහාම අවලංගු කළ යුතුවේ.
මෙහු අවුරුදු 16-20 දක්වා සිරගත කර තැබීම තුළ අවාසනාවකට දරුවාගේ උපරිම යහපත සැලසී නොමැති බව අධිකරණය ප්‍රකාශ කරන ලදී. ඒ අනුව අධිකරණය මෙහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(2)(g)(III) ව්‍යවස්ථාව උපුටා දැක්වීය. එසේ ම අධිකරණය මෙහි දී ළමා හා තරුණ පුද්ගලයන් පිළිබඳ පනතේ 31වන වගන්තිය උපුටා දැක්වීය. එයට අනුව වයස අවුරුදු 18ට අඩු සෑම පුද්ගලයෙක් ම අත්අඩංගුවට ගතහොත් සහ ඇප මත මුදානොහැරියහොත් පොලිස් ස්ථානාධිපතිවරයාට ඒ පිළිබඳ ව හේතු දැක්වීමට සිදුවේ. ඒ අනුව ඔහු අදාළ වගන්තියේ ් ලඉ සහ ජ
යන උපවගන්ති සඳහා හේතු දැක්විය යුතුය.
පෙත්සම්කරු රඳවා තිබුණේ ඔහුට සිටීමට නුසුදුසු පරිසරයකය. එනම්, අදාළ සිරකුටිය වැඩිහිටියන් රඳවා තබන එකක් වන හෙයින් එය බාලකයෙකුගේ උපරිම යහපතට පටහැනි ක්‍රියාවකි. මලාවි යනු අන්තර්ජාතික ප්‍රාමාණිකයන්ගේ පාර්ශ්වකාර රාජ්‍යයක් වන බවත් ඒ අනුව අන්තර්ජාතික සම්මුතියක් අපරානුමත කළ විට එය මලාවි රාජ්‍යයේ නීතියෙහි කොටසක් වන බව 2001 අංක 13 දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 211වන වගන්තිය තුළ දැක්වෙන බව අධිකරණය ප්‍රකාශ කළේය. ඒ අනුව ළමයින් හා තරුණ පුද්ගලයන් පිළිබඳ පනත තුළ සඳහන් උපරිම යහපත යන කාරණය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සමග සමගාමී වන බව අධිකරණය ප්‍රකාශ කරන ලදී. ඉහත කී කාරණය S.Kalanola v. Limbe Leaf Tobacco
Ltd. නඩුවේ දී ඉතා ප්‍රශංසනීය ව සාකච්ඡා කොට ඇති බව අධිකරණය දක්වන ලදී. මලාවි දණ්ඩනීති සංග්‍රහයෙහි 26(2) වගන්තිය ප්‍රකාර ව අවුරුදු 18ට අඩු දරුවෙකුට මරණ දඬුවම දියනොහැකිය. නමුත් ජනාධිපතිවරයාගේ නියමය පරිදි ඔහු ව රඳවා ගැනීමේ බලය පවතී. අධිකරණය ප්රකාශ කළේ මෙම ප්‍රතිපාදනය මලාවි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී මෙන් ම අන්තර්ජාතික ප්‍රාමාණිකයන් සමග ද එකඟ නොවන බවයි. අධිකරණය ප්රකාශ කළේ ව්‍යවස්ථා මගින් මෙකී තත්ත්වය වෙනස් කළ යුතු බවයි. ඒ අනුව විනිසුරුවරු පෙත්සම්කරුවන්ගේ කරුණු පිළිගත් අතර රැඳවුම්භාරයෙන් නිදහස් කිරීමට වහා නියෝග කරන ලදී.
මෙම නඩුතීරණය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සමග ඉතා පුළුල් ලෙස බද්ධ වන නඩුතීරණයකි. ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 37වන ව්‍යවස්ථාව පූර්ණ ලෙස ම යොදා ගෙන ඇති අතර මෙම සම්මුතියෙහි සඳහන් එකී කාරණා වඩාත් නිරවද්‍ය ව අර්ථනිරූපණය කිරීමට විනිසුරුවරුන් සමත් ව තිබේ. එසේ ම රට තුළ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධි සහ අන්තර්ජාතික ප්‍රාමාණිකයන්ට නොගැළපෙන නීති ක්ෂේත්‍ර සංශෝධනය කිරීමේ වැදගත්කම මෙහි දී අවධාරණය කර තිබේ. එය මලාවි රාජ්‍යයේ ළමුන් සම්බන්ධ නීති ක්ෂේත්‍රයේ ප්‍රගමනයට හේතු වන බව අවිවාදයෙන් පිළිගත යුතු වේ.
INDIA
M.C. Metha v. State of Tamil Nadu and Others [1996] RD-SC 1576
වයස අවුරුදු 14ටත් අඩු ළමුන් කර්මාන්තශාලාවල, පතල්කැණීම්වල සහ අනෙකුත් විවිධ අනතුරුදායක රැකියාවල යෙදවීම ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ 24වන ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවත් ඒ තුළින් ළමා අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් පවසමින් ඉන්දීය නීතිඥයෙකු විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් මෙහි දී විභාගයට බඳුන් කරන ලදී. පෙත්සම්කරු ප්‍රකාශකර සිටියේ, අනෙකුත් රටවලට සාපේක්ෂ ව ඉන්දියාවේ ළමුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමේ ප්‍රවණතාවය වැඩි බව නොරහසක් බවත් එය දරුණු යථාර්ථයක් බවත්ය. ඔහු විසින් ඉන්දියාවට නිදහස ලැබී වසර 50කට අධික කාලයක් ගත වුවද විවිධ ව්‍යවස්ථා සහ අණපනත් මගින් ළමා මෙහෙකාර සේවය තහනම් තර තිබුණ ද ඉන්දියාවේ මෙය ප්‍රායෝගික ව ක්‍රියාත්මක නෙවන බව පෙන්වා දෙන ලදී.
මෙම කරුණු අනුව පොදු ජන හැඟීම් ඇති නීතිඥවරයෙකු වන එම්. සී. මේතා මහතා විසින් කරන ලද මෙකී කර්තව්‍යය ඉන්දියාවේ ළමුන් වෙනුවෙන් තැබූ ප්‍රගතිශීලී පියවරක් ලෙස හඳින්විය හැකිය. පෙත්සම ඉදිරිපත් කරමින් පෙත්සම්කරු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ, මේ වන විට තමිල්නාඩු ප්‍රාන්තයේ ලියාපදිංචි කර්මාන්තශාලා 221ක රැකියා කරන 27338ක් අතුරින් 2941ක් ම ළමුන් බවයි. එසේ ම ගිනිකෙළි ආශ්‍රත නිෂ්පාදන කර්මාන්තශාලාවල අවදානම් සහගත රැකියාවල නිරත වන ළමුන් බරපතල අනතුරුවලට ගොදුරු වන බව මොහු අධිකරණය ඉදිරියේ පෙන්වා දෙනු ලැබීය. මෙහි දී පෙත්සම්කරු අවාසනාවන්ත අනතුරක් පිළිබඳ ව හෙළිදරව් කරන ලදී. එහි දී ගිනිකෙළි කම්හලක් පුපුරා ගිය අතර ළමුන් 30දෙනෙකු මිය යන ලදී. අදාළ සිද්ධිය සම්බන්ධ ව පූර්ණ වාර්තාවක් අධිනීතිඥයන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් සකස් කළ අතර එම වාරතාවේ 24 සහ 25වන පිටුවල ළමා මෙහෙකාර සම්බන්ධ ව යෝජනාවලියක් තමිල්නාඩු රජය වෙත ඉදිරිපත් කරතිබුණු අතර මෙය පෙත්සම්කරුගේ ඇගයීමට ලක් විය.
මෙහි දී පෙත්සම්කරු India Express නම් පුවත්පතේ 1996.10.25වන දින වාර්තා වූ පුවතක් උපුටා දැක්වූ අතර එහි දැක්වුණේ භවන්ගාර් ප්‍රදේශයේ ලක්ෂ 04ක පමණ ජනගහනයක් ජීවත් වන බවත් එයින් 13000ක පමණ පිරිසක් ළමුන් වන බවත් එකී ළමුන්ගෙන් 300කට අධික පිරිසක් විවිධ කර්මාන්තශාලාවල රැකියාවල නියැලෙන බවයි. පෙත්සම්කරු ප්‍රකාශ කරසිටියේ ළමුන්ට වඩාත් යෝග්‍ය ඉන්දියාවක් නිර්මාණය කිරීමට නම් ප්‍රස්තුත කාරණය අධිකරණයට බාර කළ යුතු බවයි. ඒ අනුව අධිකරණය විසින් ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මේ පිළිබඳ ව ආමන්ත්‍රණය කර ඇති ආකාරය පිළිබඳ ව විමසා බලන ලදී. ඒ අනුව අධිකරණය මෙහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 , 39(e) , 39(f) , 41, 47 යන ව්‍යවස්ථා සලකා බලන ලදී. උපයුක්ත ව්‍යවස්ථා අනුව ළමා මෙහෙකාර සේවය අවලංගු කිරීම මහජනයා අපේක්ෂා කරන ප්‍රමුඛ කාරණයක් බව අධිකරණය ප්‍රකාශ කරන ලදී. ඉන්දියාව ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අපරානුමත කර ඇති බැවින් එහි සඳහන් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට තම රාජ්‍යය බැඳී පවතින බව අධිකරණය ප්‍රකාශ කරන ලදී. ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය මගින් ආරක්ෂා කරනු ලබන්නේ, ළමුන්ගේ දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික, සමාජයීය සහ මානවවාදී අයිතිවාසිකම් ද මෙමගින් සුරක්ෂිත කරනු ලබන බව විනිසුරුවරුන්ගේ මතය විය. ඒ අනුව අධිකරණය මෙම සම්මුතියේ 32(1) ,
32(2)(a) , 32(2)(c) යන ව්‍යවස්ථාවන් ඍජු ව ම උපුටා දක්වන ලදී. ඊට අමතර ව ඉන්දියාවේ පවතින නීතියේ දෝෂ සහගත තැන් අධිකරණය විසින් මෙහි දී අවධානයට ලක් කරන ලදී. එනම්, විවිධ පනත්වල ළමුන්ගේ රැකියා නියුක්තිය සඳහා වන අවම වයස දැක්වීමේ දී පරස්පරතා ඇති බවයි. අධිකරණය ප්‍රකාශ කරන ලද්දේ, ළමා මෙහෙකාර සේවයේ යෙදීම හෝ නොයෙදීම සම්බන්ධ ව තීරණාත්මක සාධකය වන්නේ, අධ්‍යාපනය බවයි. ඒ අනුව මෙහෙකාර සේවයේ යෙදෙන්නන්ට අඩු අධ්‍යාපනය අදාළ කාර්යය සඳහා පිටුබලයක් සපයයි. පෙත්සම්කරුගේ තර්කය වූයේ, අවම වශයෙන් ළමයෙකුට අවුරුදු 14 දක්වාවත් අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමිවිය යුතු බවයි. ඒ අනුව අධිකරණය නඩුතීරණයේ දී ප්‍රකාශ කළේ, කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ඉන්දීය රජයට අදාළ කරුණු සම්බන්ධ ව පියවර ගැනීම සඳහා උපදෙස් දෙන බවත් නොවැළැක්විය හේතූන් මත රැකියාවල නියුක්ත වන ළමුන් සඳහා අවම වශයෙන් පැය 04ක් හෝ පැය 06ක වැඩමුරයක් දියයුතු අතර ඔවුන් දිනකට පැය 02ක්වත් අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුය. අධිකරණය ඉන්දියාවේ අනාගතය දරුවා බව පවසමින් අදාළ තීරණයට යොමු වූ බව වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
මෙම නඩුතීරණය මගින් ළමා මෙහෙකාර සේවය තහනම් කිරීමේ වැදගත්කම ඉතා උත්කෘෂ්ට ලෙස දක්වා ඇති අතර ඒ සඳහා අදාළ වන අන්තර්ජාතික ප්‍රාමාණිකයන් ඉතා පුළුල් ව විග්‍රහ කොට තිබේ. ඒ අනුව මෙකී නඩුතීරණය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි සඳහන් මූලික මූලධර්මයන් ඉටුකිරීමට සමත් වූ නඩුතීරණයක් බව පෙන්වා දිය හැකිය.
SAMOA
PITA ULUGIA, PIO
FAAPIANO and NEW YEAR ALOFIMAU v. POLICE [2010] WSCA 15
අවුරුදු 14 සහ 18 අතර වයස්වල පසුවුණු පුද්ගලයන් පස්දෙනෙක් මුගුරුවලින් සහ ගල්වලින් තවත් පුද්ගලයන් දෙදෙනෙකුට පහර දුනි. ඉන් එක් පුද්ගලයෙක් පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ අතර, අනෙක් පුද්ගලයා මියගියේය. ඔවුන් මිනීමැරීමේ වරදට වරදකරු විය. ඔවුන් පස්දෙනාට වසර හතරහමාරක සිරදඬුවම් නියම විය. පස්වන විත්තිකරු වන ටාලෝ නම් තැනැත්තා දෙවැනියට කණිෂ්ඨ පුදුගලයා විය. අදාළ සිද්ධිය වන අවස්ථාවේ ඔහු අත කිසිඳු ආයුධයක් නොතිබීම හේතුවෙන් ඔහුගේ සිරදඬුවම වසර 02 දක්වා අඩු කළේය. Pita Ulugia ඇතුළු තවත් දෙදෙනෙක් දඬුවමට එරෙහි ව අභියාචනය කළේය. ජූරි සභාව පෙන්වා දුන්නේ පෙර නඩුවේ දී ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අනුව මරණකරු චූදියන්ගෙන් පහර කා බිම වැටීමෙන් පසු Pita ඇතුළු පිරිස ඔහුට පයින් ගැසූ බවයි. ඒ අනුව මොවුන් සතු ව මරණකරුගේ මරණය සම්බන්ධ ව පොදු චේතනාවක් පැවැති බව ප්රත්යක්ෂ වේ. අභියාචක පාර්ශ්වය කියා සිටියේ තමාට අදාළ දඬුවම නියම කිරීම අබුද්ධික නඩුතීරණයක් බවයි. එමෙන් ම ඔහුගේ තර්කය වූයේ, ඇතැම් සාක්ෂිවල පරස්පරතා පවතින බවයි. සාක්ෂිකරුවන් ඇතැම් කරුණු සඟවා ඇති බවයි.
අධිකරණය ප්රකාශ කළේ සාක්ෂිකරුවන් Pita ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් පැහැදිලි ව ම ගැටුමට සම්බන්ධ වූ බවයි. අධිකරණය R
v. Mareo නඩුව උපුටා දක්වමින් ප්රකාශ කර සිටියේ සාක්ෂි සටහන්වල පරස්පරතා හුවා දක්වමින් අභියාචක පාර්ශ්වය තමන්ට ලැබුණු නඩුතීරණය අවගමනය කිරීමට උත්සාහ දරන බවයි. අනෙක් අභියාචකයන් වන Pio සහ New year යන අය ප්රකාශ කර සිටියේ ප්රාග්විනිශ්චය අබුද්ධික බවත් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය වැනි අන්තර්ජාතික ප්රාමාණිකයන්ට පටහැනි බවත්ය. ඔවුන් ප්රකාශ කළේ වයස් සීමාව පිළිබඳ ව වත් නොසලකා තමන්ට දඬුවම් නියම කළ බවයි. එමෙන් ම එම දඬුවම් නියම කිරීමේ දී පුනරුත්ථාපනය යන අංශය කෙරෙහි අවධනෙයක් යොමු කර නොමැකි බව මොවුන් ප්රකාශ කර සිටියේය. අධිකරණය ප්රාග්විනිශ්චයේ දී මොවුන්ගේ වයස්පරතරය ඉතා හොඳින් හඳුනා ගෙන ඇත. ඒ අනුව ඔවුන් වයස අවුරුදු 14 සිට 18 දක්වා වයස්වල පසුවන්නන් විය. මෙය මිනීමැරීමක් හේතුවෙන් විනිසුරුවරුන් කියා සිටියේ, මෙය මුළුමහත් සමාජයට ම එරෙහි අපරාධයක් ලෙසය. අදාළ වරද හා සැසඳීමේ දී පුනරුත්ථාපනයට වඩා දඬුවමක් දීම වඩාත් යෝග්‍ය ලෙස හැඟෙන බවයි. මෙහි දී අධිකරණය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 37 සහ 40 යන ව්යවස්ථා එලෙස ම උපුටා දැක්වීය. ඒ අනුව අධිකරණය ප්රකාශ කර සිටියේ අභියාචකයන්ගේ වරදට සාපේක්ෂ ව පූර්ව අධිකරණය ඉතා කෙටි දඬුවමක් ලබා දී ඇත්තේ, අදාළ අන්තර්ජාතික ප්රාමාණිකයන්ට තම රාජ්යය වගකියන රාජ්යයක්වන නිසා බවයි.
2007 බාලඅපරාධකරුවන්ගේ පනත අනුව නොවැළැක්විය හැකි හේතුවක දී බාලඅපරාධකරුවෙක් වැඩිහිටි සිරකරුවෙකු සමග රඳවා තැබිය හැකි බව අධිකරණය විසින් පෙන්වා දෙන ලදී. Lowe
v. The Queen නඩුවේ
දී Dawson
විනිසුරුතුමා ප්රකාශ කළේ, මිනීමැරුමක් හැඳින්විය හැක්කේ පැහැදිලි දුරාචාරයක් වශයෙන් බවයි. ඒ අනුව එහි දී සමඅපරාධකරුවන් යැයි සලකා දඬුවම් අවම කළ නොහැකි බව උක්ත නඩුවේ දී ප්රකාශ කර ඇති බව අධිකරණය දැක්වීය. ඒ අනුව අධිකරණය Pitaගේ දඬුවම අවුරුදු 03 දක්වා අඩු කළ අතර (වයස අවුරුදු 15ක් නිසා) අනෙක් දෙදෙනාගේ අභියාචන නිෂ්ප්රභ කරන ලදී.
මෙම නඩුතීරණය තුළ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 37(ආ) ව්‍යවස්ථාව
ඍජු ව ම උපුටාගෙන ඇති අතර අදාළ නඩුතීරණය ඒ ඔස්සේ ළමයාගේ උපරිම යහපත ළමා අපරාධකරුවෙක් යන මතයේ පිහිටා හැකි උපරිම අයුරින් ඉටුකිරීමට වගබලාගෙන ඇත. එමෙන් ම මෙම සම්මුතියෙහි 40(3)(ආ) යන ව්යවස්ථාවෙහි සඳහන් ළමා අපරාධකරුවෙකු වෙනුවෙන් වන ආරක්ෂණයන් පිළිබඳ ව මෙම නඩුතීරණය තුළ සාකච්ඡා කර නොමැති අතර එසේ සාකච්ඡා කළේ නම් ළමා අපරාධකරුගේ සංවර්ධනයටත් එය හේතුවක් විය හැකිය.
THUVALU
TIAU TEPULOLO v. TEALA
POU and
ATTORNEY GENERAL [2005] TVHC 1
දරුවාගේ පියා වන Pouට දාව Tepuloloට දරුවා උපන් අතර ඔවුන් අතර ඒ වන විට නීත්යනුකූල විවාහයක් නෙවීය. දරුවා අවිවාහජ දරුවෙකු වුවත් දරුවා පියාගේ ප්රවේශය ඇති ව පෝෂණය විය. එබැවින් දරුවාගේ භාරකාරත්වය පියාට ලබා දීමට පූර්ව නඩුතීරණයේ දී මහේස්ත්රාත්වරයා නියෝග කරන ලදී. මෙම තීරණයට එරෙහි ව දරුවාගේ මව විසින් අභියාචනය කරන ලදී. මව දරුවාගේ භාරකාරත්ව අයිතිය ඒ තුළින් අපේක්ෂා කළාය. එහි දී ඇගේ තර්කය වූයේ, දරුවාගේ පියාගේ සැබෑ චේතනාව වනුයේ, අභියාචක වන මවගේ ප්රවේශයෙන් දරුවා ඉවත් කිරීම බවයි. එනම්, දරුවාගේ පියා ඔහුගේ සහෝදරිය ජීවත් වන නවසීලන්තයට දරුවා රැගෙන යෑමට තැත්කරන බවයි. ඒ තුළින් දරුවාගේ භාරකාරත්ව අයිතිය සහ දරුවාට ප්රවේශ වීමට තමාට ඇති අයිතිය අහිමි වන බව මව විසින් ප්රකාශ කරන ලදී.
තුවාලු ආණ්ඩුක්රම ව්යවස්ථාවෙහි 27වන ව්යවස්ථාව
ප්‍රකාර ව කාන්තාවන්ට ලිගිකත්වය අනුව වෙනස්කොට සැලකීම පිළිබඳ අයිතිය මෙහි දී උල්ලංඝණය කරඇති බව අභියාචක පාර්ශ්වය දක්වන ලදී. ළමයින්ගේ භාරකාරත්වය පිළිබඳ ආඥා පනතේ 3(5), උරුම ඉඩම් ආඥා පනතේ 20(2), යන වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන් ප්රතිපාදනයන්ට (27වන ව්යවස්ථාවට) පටහැනි බවත් ප්රකාශ කරන ලදී. ඊට අමතර ව උපයුක්ත පන්ත් ද්විත්වයෙහි ප්රතිපාදන CEDAW
සහ CRC වැනි අන්තර්ජාතික ප්රාමාණිකයන්ට පටහැනි බව ද ප්‍රකාශ කරන ලදී. උපයුක්ත අන්තර්ජාතික ප්රාමාණිකයන් තුවාලු රාජ්යයෙහි අභ්යන්තර නීතියට ඍජු ව අදාළ වන බවත් අර්ථ නිරූපණ පනතේ 17වන වගන්තිය උපුටා දක්වමින් අභියාචක පාර්ශ්වය විසින් තර්ක කරන ලදී. ඒ අනුව අභියාචක පාර්ශ්වයෙහි මූලික තර්කය වූයේ, ළමයාගේ භාරකාරත්වය නිර්ණය කිරීම සඳහා ලිංග භේදය නොවැදගත් බවත් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි
03වන ව්යවස්ථාවෙහි සඳහන් ළමයාගේ උපරිම යහපතට ගැටලුවක් ඇතිවේ ද යන්නත් අධිකරණය විසින් පරීක්ෂණයට භාජනය කළ යුතු බවයි.
අධිකරණය ප්රකාශ කළේ, අභියාචක පාර්ශ්වය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 27වන ව්යවස්තාව වැරදි ලෙස අර්ථ නිරූපණය කරඇති බවයි. ඒ අනුව ලිංගිකත්වය අනුව වෙනස් කොට සැලකීම පිළිබඳ ව දැක්වෙන්නේ, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 11(1) අනුව්යවස්ථාවේ
බව අධිකරණය වැඩිදුරටත් අවදාරණය කරන ලදී. අධිකරණය ප්රකාශ කළේ, තුවාලු රාජ්යයේ අධිකරණ අන්තර්ජාතික ප්රාමාණිකයන්ට ගරු කරන බවයි. ඒ අනුව ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි සඳහන් දරුවාගේ උපරිම යහපත යන කාරණය ඉටුවීමට උරුම ඉඩම් ආඥා පනතේ 20(2) වගන්තියවත්, ළමයින්ගේ භාරකාරත්වය පිළිබඳ ආඥා පනතේ 3(5) වගන්තියවත් උපකාරී නොවන බවයි. අධිකරණය ප්රකාශ කළේ, කිසිම නීතියක් මගින්වත් හෝ පාර්ලිමේන්තුව මගින්වත් හෝ රාජ්‍ය පාර්ශ්වයන් මගින්වත් හෝ අදාළ අන්තර්ජාතික ප්රාමාණිකයන්හි ප්රතිපාදන අතික්රාන්ත කර නොමැති බවයි. එසේ ම අධිකරණය තවදුරටත් දැක්වූයේ, ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි සඳහන් ප්රතිපාදන රටේ පවත්නා අභ්යන්තර නීතිය සමග ඒකාබද්ධ වන අයුරින් සංශෝධනය කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් ඒ සඳහා අභිමතය පවතින්නේ, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 84වන ව්යවස්ථාව ප්‍රකාර ව පාර්ලිමේන්තුවට පමණක් වන බවත් ය. අධිකරණය අවසන් වශයෙන් ප්රකාශ කර සිටියේ, රටතුළ පවතින අභ්යන්තර නීතියේ ගමන් මග තීරණය කරනු ලබන්නේ අන්තර්ජාතික ප්රාමානිකයන් වන නමුත් ඇතැම් අවස්ථාවල දී ඒවායේ ඇතැම් නීති මගින් රටේ පවත්නා නීති අර්ථ ව්යාකූල කරන බවත්ය. නමුත් අභියාචක පාර්ශ්වය තවදුරටත් තර්ක කර සිටියේ, උරුම ඉඩම් ආඥා පනත තුළ අවිවාහජ දරුවන්ගේ උපරිම යහපත සඳහා කටයුතු කර නෙැමැති බවත් ඊට අනුරූප ව අන්තර්ජාතික ප්රාමාණිකයන්හි ප්රතිපාදනයන් නිශේධනයට ලක්වන බවත්ය. අවසානයේ අධිකරණය පෙත්සම්කාරියගේ අභියාචනය ප්රතික්ෂේප කරමින් කියා සිටියේ, තුවාලු නීතිය යටතේ දරුවාගේ උපරිම යහපත යන්නට පරම වැදගත්කමක් දක්වා ඇති බවත් එකී උපරිම යහපත සැලසිය යුත්තේ තුවාලු රාජ්යයේ අභ්යන්තර නීතියෙන් මිස ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය වැනි අන්තර්ජාතික ප්රාමාණිකයන්ගෙන් නොවන බවත්ය.
මෙම නඩුතීරණය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ප්රතික්ෂේප කරන ලද නඩුතීරණයකි. මේ තුළින් පෙනී යන්නේ, අධිකරණය අන්තර්ජාතික ප්රාමාණිකයන් බැහැර කරමින් රටේ අභ්යන්තර නීතියට සීමා වෙමින් ළමයාගේ යහපත පමණක් සැලසීමට කටයුතු කර ඇති බවයි. නමුත් එහි දී ළමයාගේ උපරිම යහපත ඉටුනොවන බව අධිකරණයට නොවැටහීම අභාග්යයකි. එමෙන් ම ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 02වන ව්යවස්ථාව ප්‍රකාර ව දරුවන්ට උපත අනුව වෙනස් කොට සැලකීම නොකළ යුතු වුවත් (අදාළ දරුවා අවිවාහජ දරුවෙක් නිසා) තුවාලු රාජ්යයේ අදාළ ව්යවස්ථාපිත ප්රතිපාදන ඉස්මතු කරමින් අන්තර්ජාතික ප්රාමාණිකයන් යටපත් කරමින් මෙහි දී දරුවාගේ උපරිම යහපත සැලසීමට අධිකරණය අපෙහොසත් වී ඇති බව නිගමනය කළ හැකිය.
PAPUA NEW GUINEA
THE STATE v. YANI NOIMBIK [2007] PGDC 63; DC587
චූදිතයා වයස අවුරුදු 36ක් වන Yani විසින් තමන්ගේ ම දරුවා අපයෝජනයට ලක්කිරීම සම්බන්ධ ව ළමා සුබසාධන පනතේ 95(2)(a) වගන්තියේ සඳහන් දෙයට ප්රතිපක්ෂව දෙයක් කර ඇති බැවින් ඔහුට විරුද්ධ ව නඩු පවරන ලදී. චූදිතයාගේ තදබල පහර දීම හේතුවෙන් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දුර්වල තත්ත්වයක පැවති බැවින් දරුවා වහා රෝහල්ගත කළ බව සාක්ෂිකරුවන් අනුව හෙළි විය. වෛද්‍ය වාර්තා අනුව සඳහන් වූයේ, චූදිතයාගේ පහර දීම හේතුවෙන් දරුවාගේ අස්ථි සහ පර්ශු බිඳී ඇති බවත් ඒ තුළින් දරුවා දැඩි ලෙස අපයෝජනයට ලක් වී ඇති බවත්ය.
චූදිතයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්රකාශ කළේ, චූදිතයා සිය සහෝදරයන් 07දෙනෙකු සහ සහෝදරියකගෙන් යුක්ත තම පවුලට ඍජු මූල්යමය දායකත්වය සපයන බැවින් ඔහු අධිකරණය ඉදිරියේ කරුණාව අපේක්ෂා කරන බවයි. රජයේ පාර්ශ්වයේ නීතිඥයින්ගේ තර්කය වූයේ, මොහුට මොහුගේ දඬුවම් අඩු කිරීම අනවශ්‍ය බවයි. ඊට හේතුව ලෙස ඔවුන් ප්රකාශ කළේ, අධිකරණය ඉදිරියේ චූදිතයා කරුනාව අපේක්ෂාවෙන් හඬා වැළපුණ ද ඔහුගේ ම දරුවා ඔහු පහර දෙන විට හඬා වැළපුණ ද ඔහු දරුවා කෙරෙහි කාරුණික නොවූ බැවින් අදිකරණයේ කරුණාව මොහු වෙත යොමු නොවිය යුතු බවයි.
අධිකරණය විසින් ළමා සුබසාධන පනතේ 95(2)(a)වගන්තිය
දෙස මූලික අවධානය යොමු කරන ලදී. අධිකරණය විසින් ප්රකාශ කරන ලද්දේ, රජයේ නීතිඥවරුන් අදාළ සාපරාධී වගකීම පැවරීම සඳහා ඉහත ප්රතිපාදනය පමණක් යොදා ගත්තද මේ සම්බන්ධ ව පවතින නීති තත්ත්වය ඉතා පුළුල් බවයි. අධිකරණය ප්රකාශ කළේ, ළමයාට අඩන්තේට්ටම් කර ඇති ස්වභාවය බරපතල බවත් එය චූදිතයාට සමාව දීමට නොහැකි කරවන හේතුවක් වන බවත්ය. චූදිතයාගේ ක්රියාකලාපය තුළින් පැහැදිලි වන්නේ, දරුවා ඝාතනය කිරීමේ චේතනාවක් ඔහු සතු ව පැවති බවයි. එසේ ම වින්දිත දරුවාගේ ස්වභාවික පියා විසින් ම ඔහුට අඩන්තේට්ටම් කිරීම සහ දරුණු ලෙස පහර දීම නිසා දරුවා භෞතික ව හා මානසික ව කම්පනයට ලක්වීම තුළ චූදිතයාට සමාව දීමේ හැකියාවක් නොමැති බවයි.
අධිකරණය ප්රකාශ කර සිටියේ, චූදිතයා රටේ අභ්යන්තර නීතිය පමණක් නොව අන්තර්ජාතික ප්‍රාමාණිකයන් ද උල්ලංඝණය කර ඇති බවයි. එනම්, ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 19(1) ව්යවස්ථාව ප්‍රකාර ව මොහු විසින් කරන ලද ක්රියාවට සමාව ලබා දිය නොහැකි බවයි. එසේ ම පැපුවා නිව්ගිනියාව අදාළ සම්මුතිය අපරානුමත කර ඇති බැවින් එහි සඳහන් ළමයාගේ සුබසාධනය සහ ළමයාගේ ආරක්ෂණය තහවුරු කිරීමට තමන් රාජ්යයක් වශයෙන් බැඳී පවතින බවයි. විනිසුරුවරුන් ප්රකාශ කර සිටියේ, ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 19වන වගන්තිය අනුව රාජ්‍ය වගකීම ක්රියාවට නැංවීමට නම් ළමා සුබසාධන පනතෙහි 95වන වගන්තිය සංශෝධනය කළ යුතු බවයි. එනම්, දඬුවම හා දඩය වැඩි කළ යුතු බවයි. නමුත් විනිසුරුවරුන් වැඩිදුරටත් කියා සිටියේ, තමන්ට නීතිය වෙනස් කළ නොහැකි බවත් පවතින නීතිය අර්ථ නිරූපණය කිරීමට පමණක් හැකි නිසාත්, චූදිතයාට වසරක සිරදඬුවමක් නියම කරන බවයි.
ළමයාගේ ආරක්ෂණය, සුබසාධනය, ළමයාගේ උපරිම යහපත යන කරුණු අධිකරණය ඉතා හොඳින් හුවාදක්වා ඇති අතර ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි 19වන ව්යවස්ථාව හොඳින් අධ්යයනය කර ඇති බව පෙනී යයි. එසේ ම අදාළ අන්තර්ජාතික ප්රාමාණිකයන්ට අනුකූල ව දේශීය නීතිය සංශෝධනය විය යුතු ආකාරය දැක්වීම ඖචිත්‍ය පූර්වකය. ඒ අනුව ළමා ප්රචණ්ඩත්වය සහ හිංසනය පිටුදැකීම වෙනුවෙන් ලබාදුන් ඉතා උසස් නඩුතීරණයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
From- Suranga Bandara Senevirathna
මෙම බ්ලොග් අඩවිය සම්බන්ධ ව ඔබගේ අදහස් පහතින් දක්වන්න